Tuesday, January 7, 2025

General line - 0115112241

දශකයකට පසු ඇමෙරිකාවට ශීත කුණාටුවක් පිළිබඳ අනතුරු ඇඟවීම්




ඇමරිකාවට දරුණු ශීත කුණාටුවක් පැමිණිය හැකි බවට එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු අඟවා තිබෙනවා. 

එම ශීත කුණාටුව වසර දහයකට පසු ඇමරිකාවට බලපාන දරුණුතම ශීත කුණාටුව වන බවයි වාර්තා වන්නේ. 

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ දරුණු හිම පතනයක් සහ ශීත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. 

එම ශීත කුණාටුව හේතුවෙන් ශීත කාලගුණය අඩු වශයෙන් පවතින මිසූරි, ඔහියෝ, මිසිසිපි සහ ෆ්ලොරිඩා ඇතුළු ප්‍රන්තවලට අධික හිම පතනයන් අපේක්ෂා කළ හැකි බවටයි එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත්තේ. 

එමෙන්ම කෙන්ටකි සහ වර්ජිනියා ප්‍රාන්තවලට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

ශීත කාලගුණය හේතුවෙන් එරට මිලියන 62 කට අධික පුද්ගලයන් පිරිසක් පිඩාවට පත් විය හැකි බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. 

එසේම පැයට සැතපුම් 40 දක්වා ඇතිවිය හැකි සුළං හේතුවෙන් විදුලිය ඇණහිටීම් ද ඇති විය හැකි බව සඳහන්. 

එම තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශවල පුද්ගලයින්ගේ දෛනික ජීවිතයට සැලකිය යුතු බාධා ඇති විය හැකි අතර ඇතැම් අනතුරුදායක මාර්ගයන් වසා දැමීමට ද ඇමරිකානු රජය පියවර ගෙන තිබෙනවා. 

මේ අතර ඩෙල්ටා සහ යුනයිටඩ් ගුවන් සමාගම් විසින් සිය ගුවන් ගමන් ප්‍රමාද කිරීමට ද කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.