Friday, January 10, 2025

General line - 0115112241

ලොස්ඇන්ජලිස් ලැව් ගින්නෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි




අමෙරිකාවේ ලොස්ඇන්ජලීස්හි හටගත් ලැව්ගින්නෙන් මියගිය පුද්ගලයන් ගණන 10 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඔවුන්ගේ අනන්‍යතාව මෙතෙක් හඳුනාගෙන නැහැ. 

එරට රජය පවසන්නේ ගලවා ගැනීමේ කණ්ඩායම් ලැව් ගිනි පවතින ප්‍රදේශවලට ලඟා වන තෙක් මරණ සංඛ්‍යාව නිශ්චිතවම ප්‍රකාශ කල නොහැකි බවයි. 

ඒ අනුව මියගිය පුද්ගලයින් සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවට අනතුරු අඟවනවා. ලැව් ගින්න හේතුවෙන් පුද්ගලයන්  10,000 කට අධික පිරිසකගේ නිවාස විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ. 

ලැව් ගින්න මේ වන විට ප්‍රදේශ පහක් පුරා පැතිර යමින් පවතින අතර ඒ හේතුවෙන් පලිස්සෙයිඩ් ප්‍රදේශයේ අක්කර 19,978ක භුමි ප්‍රදේශයක් විනාශ වී තිබෙනවා. 

ඊටන් ප්‍රදේශයේ ද අක්කර 13,690ක පමණ භුමි ප්‍රදේශයක් විනාශ වී ඇති බවට සඳහන්. හර්ස්ට් ප්‍රදේශයෙන් අක්කර 771ක් සහ ලිඩියා ප්‍රදේශයෙන් අක්කර 348ක භුමි ප්‍රදේශයක් ද විනාශ වී ඇති බවයි විදෙස් මාධ්‍ය අනාවරණය කළේ. 

කෙසේ වෙතත් පැතිර යන ලැව් ගිනි තත්ත්වය පාලනය කිරීම සඳහා එරට හමුදාවේ ගුවන් යානා අටක් යෙදවීමටද අමෙරිකා රජය තීරණය කර තිබෙනවා. 

මෙම ලැව් ගිනි හේතුවෙන්  ඉන්ධන නල මාර්ග දෙකට බලපෑම් සිදු වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. 

ඒ අනුව කැලිෆෝනියාවේ සිට ලාස් වේගාස් දක්වා ඉන්ධන බෙදා හරින නල මාර්ගය ජනවාරි 8 වන දින සිට වසා දමා තිබෙනවා.