Monday, January 13, 2025

General line - 0115112241

සිසුන් ලක්ෂ 22ක් දහම් පාසල් නොයන බව බුද්ධශාසන නියෝජ්‍ය ඇමති කියයි

ලලිත් චාමින්ද




ලක්ෂ හතළිහකට අධික දරුවන් පාසල් අධ්‍යාපනය ලැබුවද  ඉන් දහම් පාසල් අධ්‍යාපනය ලබන්නේ ලක්ෂ දහඅටක් පමණක් බව බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පවසනවා. 

විධිමත් අධ්‍යාපන පද්ධතිය තුළ ස්ථාපිත පාසල් සංඛ්‍යාව දහදහස් එකසිය විසි එකක් වුවත් දහම් පාසල් 10,646ක් ලියාපදිංචි වී ඇති බවයි ගාල්ල ප්‍රදේශයේ පැවති සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී හිමිවරුන්ගේ ජාතික සම්මේලනයට එක්වෙමින් ඔහු සඳහන් කළේ. 

ඒ අනුව ශාසනාරක්ෂක බල මණ්ඩලවල විශේෂ කාර්යයක් ලෙස සලකා දහම් පාසල් අධ්‍යාපනය ක්‍රියාත්මක වනු ඇතැයි තමන් අපේක්‍ෂා කරන බව බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී පැවසුවා. 

ආධ්‍යාත්මිකව මිනිසා ගොඩනගන කටයුත්තේ ප්‍රමුඛ කාර්යභාරයක්  ශාසනාරක්ෂක බලමණ්ඩලවල ලේඛකාධිකාරි හිමිවරුන්ට සහ එහි සභාපති හිමිවරුන්ට පැවරෙන බවයි බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා එහිදී වැඩිදුරටත් පැවසුවේ.

සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති මහාචාර්ය  පූජ්‍ය තුඹුල්ලේ  සිලක්ඛන්ධ නාහිමියන් ද එහිදී අදහස් දැක්වුවා. 

උන්වහන්සේ පෙන්වා දුන්නේ දහම් පාසල් අධ්‍යාපනය කඩා වැටී ඇත්තේ උපකාරක පන්ති දහම් පාසල් පැවැත්වෙන කාලසීමාවේද ක්‍රියාත්මක වීම හේතුවෙන් බවයි.      
 

ඒ අනුව ඉරිදා දිනයේ දහම් පාසල් පැවැත්වෙන කාලසීමාවේදී පමණක් හෝ උපකාරක පන්ති පැවැත්වීම නතර කරන ලෙසට හිටපු ජනාධිපතිවරුන් කිහිපදෙනෙකුගෙන්ම එවකට ඉල්ලීම් කල බවද පූජ්‍ය තුඹුල්ලේ සිලක්ඛන්ධ නාහිමියන් පැවසුවා. 

කෙසේවෙතත් එම ඉල්ලීම්වලට එවකට සිටි කිසිදු ජනාධිපතිවරයෙකුගෙන් විසඳුම් නොලැබුණු බවයි උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවේ.