මහනුවර, දවුලගල ප්‍රදේශයේදී පැහැරගත් පාසල් සිසුවිය එම පැහැරගැනීම සිදු කළ තරුණයා සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අම්පාර බස් නැවතුම්පොළේ බස් රථයක් තුළ සිටියදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්පාර පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි.
ඔවුන් දෙදෙනා නුවර බලා පැමිණීමට සුඛෝපභෝගී බස් රථයක අසුන් ගෙන සිටියදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
ඔවුන් මහනුවර පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමට නියමිතයි.
පුද්ගලික පාසලක අධ්‍යාපනය ලබමින් සිටි වයස අවුරුදු 18ක් වන එම සිසුවිය පැහැරගෙන ගොස් ඇත්තේ රුපියල් ලක්ෂ පණහක කප්පම් මුදලක් ඉල්ලා බවයි පොලීසිය පැවසුවේ.
එම පැහැරගැනීම සිදු කර ඇත්තේ විදෙස් රටවල් කිහිපයක රැකියා කර යළි දිවයිනට පැමිණ සිටි ගම්පල ප්‍රදේශයේ තරුණයෙක් බවට විමර්ශනවලදී අනාවරණ වී තිබුණා.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර සහ දවුලගල පොලීසිය විශේෂ පොලිස් කණ්ඩායම් කීපයක් යොදවා පරීක්ෂණ සිදු කර තිබෙනවා.