Saturday, January 18, 2025

General line - 0115112241

පාර්ලිමේන්තු සේවකයන් තිදෙනෙකු සේවයෙන් පහ කෙරේ




පාර්ලිමේන්තු සේවිකාවන්ට ලිංගික හිංසනයන් සිදු කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පාර්ලිමේන්තු සේවකයන් තිදෙනෙකු සේවයෙන් පහකර තිබෙනවා. 

එම සිද්ධියට අදාලව අදියර කිහිපයක් යටතේ සිදුකල විමර්ශවලදී එම සේවකයින් තිදෙනා වැරදිකරුවන් ලෙසට තහවුරු වූ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ. 

ඒ අනුව ඔවුන් තිදෙනා සේවයෙන් පහකිරීම සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අනුමැතිය ලබාදී තිබෙනවා. 

2021 සහ 2022 කාල පරිචේදයේ පාර්ලිමේන්තු සේවිකාවන්ට ලිංගික හිංසනයන් වීම සම්බන්ධයෙන් මීට පෙර මාධ්‍ය හරහා කරුණු වාර්තාකර තිබුණා. 

ඒ අදාල සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා එවකට පාර්ලිමේන්තුවේ පරිපාලන අධ්‍යක්ෂකගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමටයි පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය කටයුතු කළේ. 

ඒ අතරතුර එම සිද්ධියට අදාල සේවකයන් වැඩතහනමකට ලක් කර තිබුණා. 

විමර්ශන වාර්තාව පදනම් කර ගනිමින් ඔවුන් තිදෙනා වැඩතහනමට ලක් වූ දින සිට සේවයෙන් පහකර ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.