Sunday, January 26, 2025

General line - 0115112241

අදානිගේ නිවේදනයට ආණ්ඩුවෙන් ප්‍රතිචාර




අදානි සමාගම මෙරට ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති සම්බන්ධයෙන් ආණ්ඩුවද ප්‍රතිචාර දැක්වුවා. 

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පැවසුවේ එම සමාගම විසින් මන්නාරම සහ පූනරින්හි ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙගාවොට් 484ක සුළංබල ව්‍යාපෘති අවලංගු කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි. 

කෙසේවෙතත් අදාළ ව්‍යපෘති සම්බන්ධයෙන් යළි සලකා බැලීමට අමාත්‍ය මණ්ඩලය පසුගියදා තීරණය කළා. එහෙත් එම කටයුතුද මේ වනවිට නතර කර ඇති බවයි බලශක්ති අමාත්‍යවරයා පැවසුවේ. 

ඒ, අදානි සමාගම සමග ඇති කරගෙන තිබෙන ගිවිසුම බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා පෙත්සම් කිහිපයක් ගොනු කර තිබීම හේතුවෙන්. 

එම නඩු කටයුතු අවසන් වන තෙක් අදානි සමාගමේ ව්‍යාපෘති සම්බන්ධයෙන් යළි සලකා බැලීම එලෙස නතර කර ඇති බවයි බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පැවසුවේ.

කෙසේවෙතත් අදාළ ව්‍යාපෘති අවලංගු කර ඇති බවට විවිධ වාර්තා පළවී තිබෙනවා. 

පලවන එම වාර්තා ප්‍රතික්ෂේප කරනු ලබන බව අදානි සමූහය පැවසුවා. 

ඒ, එම සමාගම නිවේදනයක් නිකුත් කරමින්. පසුගිය ජනවාරි 2 වන දින ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය විසින් 2024 මැයි මාසයේදී අනුමත කරන ලද ගාස්තු, නැවත ඇගයීමට ගත් තීරණය නව රජය විසින් සිදු කරන ලද සම්මත සමාලෝචන ක්‍රියාවලියක් බවත්, සමාලෝචනය රටේ යාවත්කාලීන කරන ලද බලශක්ති ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සමග පෙළගැස්වීම සහතික කිරීම අරමුණු කර ගෙන ඇති බවත් එම නිවේදනයේ සඳහන්.
 

එම ව්‍යාපෘති අවංලගු කර නොමැති බවත් ශ්‍රී ලංකාවේ හරිත බලශක්ති අංශයේ ඩොලර් බිලියන 1ක ආයෝජනයක් වෙනුවෙන් සිය කැපවීම අවධාරණය කරනු ලබන බවත් අදානි සමාගම වැඩිදුරටත් පැවසුවා.