Monday, January 27, 2025

General line - 0115112241

වසර 10කට පසු බ්‍රිතාන්‍යයට බලපෑ සුළි කුණාටුවෙන් මිලියනයකට විදුලිය ඇණහිටී




බ්‍රිතාන්‍යයට බලපා ඇති ‘ඊඕවින්’ සුළිකුණාටුව හේතුවෙන් මේ වන විට එරට පුද්ගලයින් මිලියනයකට ආසන්න පිරිසකට විදුලිය ඇණහිට තිබෙනවා. 

විදුලිය ඇණහිටීම හේතුවෙන් ස්ථාන කිහිපයක ජල සැපයුම ද ඇණහිට ඇති බවයි වාර්තා වන්නේ. 

මෙම සුළිකුණාටුව වසර 10ක් ඇතුලත බ්‍රිතාන්‍යයට බලපෑ දරුණුතම සුළිකුණාටුව වන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. 

එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ සුළගේ වේගය මේ වන විට පැයට කිලෝමීටර් 160 ඉක්මවා ඇති බවයි. 

එසේම එම සුළං තත්ත්වය ඉදිරි සතිය තෙක් පැවතිය හැකි බව ද අදාළ විදෙස් වාර්තා පෙන්වා දෙනවා. 

වෙරළ ආශ්‍රිතව සහ කඳුකරය ආශ්‍රිතව ද සුළිකුණාටු වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බවයි එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 
 

සුළිකුණාටුව හේතුවෙන් ස්කොට්ලන්තයේ සහ උතුරු අයර්ලන්තයේ ද දේපල හානි 400ක් වාර්තා වී තිබෙනවා. 

සුළං තත්ත්වය හේතුවෙන් ගසක් කඩා වැටීමෙන් අයර්ලන්තයේ තරුණයෙකු ද මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. 

මේ හේතුවෙන් ගුවන් ගමන් සහ දුම්රිය ගමනා ගමනයට ද බාධා එල්ල වී ඇති බවයි එරට රජය පවසන්නේ.