Monday, January 27, 2025

General line - 0115112241

ගාල්ල බන්ධනාගාරයේ ගැටුම ගැන තවත් තොරතුරු රැසක් එළියට




ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. 

ප්‍රභල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් වන කරන්දෙනියේ සුද්දා හා රත්ගම ටිල්ලාගෙ බන්ධනාගාර ගත සමීපතමයන් අතර එම ගැටුම හටගෙන ඇති බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. 

කරන්දෙනියේ සුද්දාගෙ සමීපතමයන් 200 දෙනෙකු පමණ එම බන්ධනාගාරයේ ‘ඒ’ වාට්ටුවේ රඳවා සිටිනවා. 

රත්ගම ටිල්ලාගේ සමීපතමයන් 50 දෙනෙකු පමණ එම බන්ධනාගාරයේ ‘සී’ වාට්ටුවේ රඳවා සිටින බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. 

රත්ගම ටිල්ලාගේ සමීපතමයන් කිහිප දෙනෙකු කරන්දෙනියේ සුද්දාගේ සමීපතමයෙකුට පළමුව පහරදී තිබෙනවා. 

පසුව කරන්දෙනියේ සුද්දාගේ සමීපතමයන් කිහිප දෙනෙකු රත්ගම ටිල්ලාගේ සමීපතමයන් කිහිප දෙනෙකුට පහරදී ඇති බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. 

එහිදී රත්ගම ටිල්ලාගේ සමීපතමයන් තිදෙනකු සහ කරන්දෙනියේ සුද්දාගේ සමීපතමයෙකු තුවාල ලබා තිබෙනවා. 

ඔවුන් බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ගාල්ල ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි බන්ධනාගාර ආරංචි වැඩිදුරටත් පැවසුවේ.