රක්ෂිත බන්ධනාගාර ගත කළ යෝෂිත රාජපක්ෂගේ සුවදුක් විමසීම සඳහා පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන නාමල් රාජපක්ෂ සහ ඩී.වී චානක යන මහත්වරුන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත අද පෙරවරුවේ පැමිණ තිබෙනවා.
මන්ත්රී වරප්රසාද යටතේ ඔවුන් දෙදෙනා එලෙස බන්ධනාගාරයට පැමිණි බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
ඉරිදා දිනවල කිසිවෙකුටත් රැඳවියන් බැලීමට අවස්ථාව හිමි වන්නේ නැහැ.
කෙසේවෙතත් මන්ත්රීවරුන් ඇතුළු නම් කළ පිරිසකට මන්ත්රී වරප්රසාද යටතේ ඉරිදා දිනවල වුවද බන්ධනාගාරය නිරීක්ෂණය කළ හැකි බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
යෝෂිත රාජපක්ෂ ඊයේ පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් කණ්ඩායමක් විසින් බෙලිඅත්ත ප්රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ, රත්මලාන ප්රදේශයේ පිහිටි රුපියල් මිලියන 34ක් වටිනා නිවසක් සහ ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදු කරන විමර්ශනයකට අදාලවයි.
ඉන් අනතුරුව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ඒමෙන් පසු දීර්ඝ ලෙස ප්රකාශ සටහන් කරගෙන තිබෙනවා.
යෝෂිත රාජපක්ෂ කොළඹ අතිරේක මහේස්ත්රාත්වරියගේ නිල නිවස වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.