Friday, January 31, 2025

General line - 0115112241

බැලුම්ගල අනාවරණයෙන් පසු කටුනායක ගුවන් තොටුපළේ දූෂිත නිලධාරීන් ගැන විශේෂ විමර්ශනයක්




නෙත් එෆ් එම් රේඩියෝවේ බැලුම්ගල වැඩසටහන මගින් සිදුකළ  අනාවරණයකින් පසුව, කටුනායක ගුවන්තොටුපලේ සේවයේ නියුතු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඇතැම් දුෂිත නිලධාරීන් සිදුකරන වංචනික ක්‍රියා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භකර තිබෙනවා.  

ඒ වැඩබලන ආගමන විගමන පාලක ජෙනරාල්වරියගේ නියෝගයකට අනුවයි.  

කටුනායක ගුවන්තොටුපලේ පැමිණීමේ හා පිටවීමේ පර්යන්තයේ සිටින ඇතැම් නිලධාරීන් ගුවන් මගීන්ගෙන් අල්ලස් ලෙස විදේශීය මත්පැන් බෝතල් සහ චොක්ලට් පාර්සල් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහන මගින් ඉකුත්දා කරුණු අනාවරණ කළා. 

පසුගිය දෙසැම්බර් මස 31වනදා ස්විස්ටර්ලන්තයේ සිට වසර 25කට පසු මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකුගෙන් ගුවන්තොටුපලේ පැමිණීමේ පර්යන්තයේ සිටි නිලධාරීන් විදෙස් මත්පැන් බෝතල් දෙකක් අල්ලස් ලෙස ලබාගෙන තිබුනා. 

ඔහු යලිත් ශ්‍රී ලංකාවෙන් පිටවූ ඉකුත් ජනවාරි දෙවනිදාද එලෙසම ගුවන්තොටුපලේ පිටවීමේ පර්යන්තයේ සිටි නිලධාරීන් විදෙස් මත්පැන් බෝතල් දෙකක් සහ චොක්ලට් පාර්සලයක්ද ලබාගත් බව සාක්ෂි සහිතව බැලුම්ගල වැඩසටහන මගින් අනාවරණය කළා. ඒ ඉකුත් ජනවාරි 27වනදායි.

එම අනාවරණයෙන් පසුව ආරම්භ වූ විමර්ශනයට අනුව එම ක්‍රියාවට සම්බන්ධ නිලධාරියෙකුට වහාම ක්‍රියාත්මකවන පරිදි  දඬුවම් ස්ථානමාරුවක් ලබාදී තිබෙනවා. 

එමෙන්ම එම සිද්ධිය පිළිබඳව මුලික විමර්ශනයක්ද සිදු කෙරෙනවා. 

තවද මින් ඉදිරියට මෙවන් කටයුතු සිදු නොවීමට අවශ්‍ය පියවර ගැනීමටද වැඩබලන ආගමන විගමන පාලක ජෙනරාල්වරිය උපදෙස් ලබා දී තිබෙනවා.