Monday, February 10, 2025

General line - 0115112241

වෛද්‍යවරුන් නිර්දේශ කළ ආහාර ඥාණසාර හිමියන්ට නොදෙන්නේ ඇයි ?




බන්ධනාගාර රෝහලේ රඳවා සිටින ඥාණසාර හිමියන්ට නිර්දේශ කළ ආහාර ලබාදෙන්නැයි වෛද්‍යවරුන් දැනුම්දී නැතැයි වැලිකඩ බන්ධනාගාරය පවසනවා. 

වෛද්‍යවරුන් එලෙස නිර්දේශ කරන්නේ නම් ඊට අදාලව කටයුතු කරන බවයි එම බන්ධනාගාරය පැවසුවේ. 

ලංකා ජනතා පක්ෂය කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් සිදුකල ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් එම බන්ධනාගාරය මෙම අදහස් පළ කළා. 

පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් පැවසුවේ ඥාණසාර හිමියන්ට නිර්දේශිත ආහාර  ලබාදෙන ලෙසට වෛද්‍යවරුන් විසින් නියම කළ ද ඒ අනුව බන්ධනාගාරය කටයුතු නොකරන බවයි.

බොදු බලසේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය ජනවාරි 09 වනදා මාස 09ක ලිහිල් සිරදඬුවමක් නියම කරනු ලැබුවා. 

ඒ, 2016 වසරේ ජූලි මස 16 වනදා කිරුළපන ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ඉස්ලාම් දහමට අපහාස වන අකාරයෙන් ප්‍රකාශයක් සිදු කිරීමට අදාළවයි. 

ඒ අනුව උන් වහන්සේ වැලිකඩ බන්ධනාගාරයේ ‘ඒ-කේ’ වාට්ටුවේ රඳවනු ලැබුවා. 

ඊට පසුදින හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් උන් වහන්සේ වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණා. 

එදින සිට මේ දක්වා උන්වහන්සේ එම බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි වැලිකඩ බන්ධනාගාරය සඳහන් කළේ.