Tuesday, February 11, 2025

General line - 0115112241

ලබන 14 වනදා පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක්




පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් ලබන 14 වනදා පෙරවරු 09.30 ට කැඳවීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී තිබෙනවා. 

ඒ, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම්වලට අදාළ තීරණය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම්දීම සඳහායි.  

පාර්ලිමේන්තු වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මහතා පැවසුවේ නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එම තීරණය ගත් බවයි.

ඒ අනුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16හි විධිවිධාන ප්‍රකාරව අග්‍රාමාත්‍යවරිය විසින් කථානායකවරයා වෙත කරනු ලබන ඉල්ලීමක් මත එම කැඳවීම සිදු කරනු ලබනවා. 

එමෙන්ම ලබන 14 වනදා එම පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා අදාළ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව රැස්   කිරීමට ද එහිදී තීරණය වී තිබෙනවා.

පළාත් පාලන ඡන්ද විමසීම කඩිනමින් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර ඇති පසුබිමක ඊට ගරු කිරීමක් ලෙස මැතිවරණය තවදුරටත් ප්‍රමාදයකින් තොරව පැවැත්වීමේ අවශ්‍යතාව එහිදී සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා අවධාරණය කර තිබෙනවා. 

ඒ අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතට අදාළ දෙවැනි වර කියවීමේ විවාදය ලබන 17 වනදා පස්වරු 02.00 සිට රාත්‍රී 07.00 දක්වා පැවැත්වීමට ද එහිදී තීරණය වූ බවයි පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම 2025 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම පෙර තීරණය කළ පරිදි ලබන 17 වනදා පෙරවරු 10.30ට සිදු කිරීමට ද නියමිතයි.