සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා ගැනීම සඳහා හෙට දින පැවැත්වීමට නියම කර තිබූ නිලවරණය පැවැත්වීම වළක්වාලමින් අද අතුරු තහනම් නියෝගයක් කළා.
ඒ, අභියාචනාධිකරණය විසින්.
එම දේවාලයේ තාවකාලික භාරකරු ලෙස පත් කර තිබූ එස්.වී. චන්ද්‍රසිංහ මහතා විසින් ගොනු කර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය විසින් ලබන 20 වනදා තෙක් බල පැවැත්වෙන පරිදි එම අතුරු තහනම් නියෝගය නිකුත් කළා.
අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.එම්.එස්.දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සම සලකා බැලුනා.
පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චාමර නානායක්කාර වසම් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් හෙට දින පැවැත්වීමට නියමිතව තිබෙන සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම සඳහා තම සේවාදයකයා ඡන්දය ප්‍රකාශ කිරීම වළක්වාලමින් මීට පෙර අභියාචනාධිකරණය මගින් අතුරු නියෝගයක් නිකුත් කර තිබූ බව සඳහන් කළා.
යම් හෙයකින් ඉදිරියේදී පැවැත්වෙන නඩු විභාගයේදී තම සේවා දායකයා අදාල දේවාලයේ තාවකාලික භාරකරු වශයෙන් පත් කිරීමට ගත් තීරණය නීත්‍යානුකූල බවට තීන්දුවක් ලැබුණහොත් හෙට දින පැවැත්වීමට නියමිතය ඡන්ද විමසීමේදී තම සේවා දායකයාට ඡන්දය ප්‍රකාශ කිරීමට තිබෙන අවස්ථාව අහිමි කිරීම තුළින් ඔහුට දැඩි අසාධාරණයක් සිදුවන බව නීතිඥවරයා පෙන්වා දුන්නා.
ඊට අමතරව සිය සේවාදායකයා සබරගමුව මහා සමන් දේවාලයේ භාරකරු ලෙස කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් තහනම් නියෝගය නිකුත් කිරීමෙන් පසුව එම තනතුරු අහෝසි කිරීමට වග උත්තරකරුවන් කටයුතු කර තිබෙන බවත් එය නීතියට පටහැනි බවත් නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව එම අතුරු තහනම් නියෝගය නිකුත් කළ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.
ඉන් අනතුරුව පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 20 වනදා කැඳවන ලෙසද නියෝග කෙරුණා.