ඉස්ලාම් දහමට අපහාසයක් සිදු කළේ යැයි කියන චෝදනාවට වරදකරු වී මාස 09ක ලිහිල් සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන ප්‍රතිශෝධන පෙත්සමට විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කොළඹ මහාධිකරණය අද නීතිපතිවරයාට කල් ලබා දුන්නා.
ඒ, එම පෙත්සම කොළඹ මහාධිකරණ විනිසුරු මාපා බණ්ඩාර මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.
එම අවස්ථාවේදී පෙත්සම්කාර ඥාණසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ගාමිණී අල්විස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයේ විභාගය සඳහා දිනයක් නියම කරන ලෙස ඉල්ලා සිටියා.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා සඳහන් කළේ මෙම නඩුකරයට අදාළව විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙසයි. ඒ අනුව නඩුකරයට අදාල විරෝධතා තිබේ නම් ඒවා මේ මස 25වනදා ගොනු කරන ලෙස නීතිපතිවරයාට නියම කෙරුණා.
2016 වසරේ ජූලි මස 08වනදා කිරුළපන ප්‍රදේශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී “ඉස්ලාමය පිළිකාවක්. එය අතුගා දමන්න ඕනේ.”
යනුවෙන් ප්‍රකාශ කිරීම තුළින් ජාතීන් අතර සංහිඳියාව උල්ලංගනය වන ආකාරයෙන් කටයුතු කළේ යැයි චෝදනා කරමින් පොලිසිය විසින් ඥාණසාර හිමියන්ට එරෙහිව නඩුවක් ගොනු කර තිබුණා.
එම නඩුවට වරදකරු කෙරුණු ඥාණසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉකුත්දා ලිහිල් වැඩ සහිත මාස 09ක සිරදඬුවමක් නියම කළා.