Friday, September 20, 2024

General line - 0115112241

ජාතිවාදී ප‍්‍රකාශවලට පිළිතුරු දීම අනවශ්‍යයි




ශ‍්‍රී ලංකාවේ ඕනෑම පුරවැසියෙකුට ශ‍්‍රී ලංකාවේ ඕනෑම තැනක පදිංචි වීමට හෝ ජීවත් වීමට අයිතියක් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.

එහෙත් ඒ සම්බන්ධයෙන් ඇතැම් පිරිස් සිදුකරන ජාතිවාදී ප‍්‍රකාශවලට පිළිතුරු දීම අනවශ්‍ය බවයි උන්වහන්සේ අවධාරණය කළේ.

දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා මන්ත‍්‍රීවරයෙකු වන එම්.කේ. සිවාජිලිංගම් සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මීට පෙර කරන ලද ප‍්‍රකාශ 2ක් සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී මෙම අදහස් පළ කෙරුණා.

එම්.කේ. සිවාජිලිංගම් කියා සිටියේ පිට පළාත්වලින් පැමිණෙන පිරිස් උතුරේ පදිංචි වනවාට තමන් විරෝධය පළ කරන බවයි.

මෙමගින් සිංහල වැසියන්ට අසාධාරණයක් සිදුවන බවත් ඊට ආණ්ඩුවේ ප‍්‍රතිචාරය විමසා සිටින බවත් උදය ගම්මන්පිල කියා සිටියා.

එම්.කේ. සිවාජිලිංගම් මන්ත‍්‍රීවරයාගේ මෙම ප‍්‍රකාශයට පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පිළිතුරු දුන් අයුරු පහතින් දැක්වේ.

“සිවාජිලිංගම් මහතාගේ ප්‍රකාශය ගැන අප කළබල වියයුතු නැහැ. ජාතිවාදී , පටු විදිහට හිතන මිනිස්සු ගැන අපි කළබල වෙලා ප්‍රකාශ නිකුත් කරන්න අවශ්‍ය නැහැ. අපි අපේ කටයුතු මනාව කරගෙන යන්න ඕනේ. ජාතිවාදයකට පිළිතුරු දෙනවිට තවත් තැනක ජාතිවාදයක් ඇවිස්සෙන්නේ. මේ රටේ ඕනෑම තැනක , ඕනෑම කෙනෙකුට ජීවත් වීමේ අයිතිය තියෙනවා. ඒක කිසිකෙනෙකුට නවත්වන්න පුළුවන් කමක් නැහැ. ඒක තමයි රටේ පවත්නා නීතිය”.