Friday, September 20, 2024

General line - 0115112241

වසර 3කින් ඩෙංගු නැතිකරනවා – සෞඛ්‍ය ඇමතිගෙන් සහතිකයක්




වසර 3ක් ඇතුළත ඩෙංගු රෝගය ශ‍්‍රී ලංකාවෙන් තුරන් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

අමාත්‍යවරයා ඒ බව පැවසුවේ සමීක්ෂණ වාර්තාවක් එළිදැක්වීම වෙනුවෙන් කොළඹ පැවති උත්සවයකදීයි.

බෝ නොවන රෝග පාලනය කිරීම සඳහා ද වැඩි ප‍්‍රමුඛතාවක් ලබාදෙන බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

අදාළ සමීක්ෂණය සිදුකර ඇත්තේ ද බෝ නොවන රෝග සඳහා අවදානම් සාධක පිළිබඳවයි. ශ‍්‍රී ලංකාවේ මත්පැන් පානය කරන පිරිස ජනගහණයෙන් සියයට 34යි දශම 8ක් දක්වා අඩු වී ඇතැයි මෙම සමීක්ෂණ වාර්තාවෙන් අනාවරණ කර තිබෙනවා.

2013 වසරේදී එම අගය සියයට 39ක් වූ බවයි අමාත්‍යවරයා කියා සිටියේ. ශ‍්‍රී ලංකාවේ දුම් පානය කරන්නන්ගේ සංඛ්‍යාව ද මේ වන විට සියයට 10යි දශම 2ක් දක්වා අඩු වී ඇතැයි මෙම සමීක්ෂණ වාර්තාවෙන් තහවුරු කර තිබෙනවා.

කෙසේ වෙතත් ශ‍්‍රී ලංකාවේ පලතුරු හා එළවළු පරිභෝජනය තවමත් අඩු මට්ටමකයි පවතින්නේ. වයස අවුරුදු 18ත්, 69ත් අතර වයස් කාණ්ඩයේ පලතුරු හා එළවළු පරිභෝජනය සියයට 72 දශම 5ක් පමණක් බව මෙම සමීක්ෂණ වාර්තාවේ දැක්වෙනවා.