Friday, September 20, 2024

General line - 0115112241

මගේ ක්‍රිකට් ලෝකයේ වීරයා කෝලි – ෆේස්බුක් වලට ආසම නැහැ – ධනංජය කියන කතාව මෙන්න!



ධනංජය ද සිල්වා කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට පායපු නවක තරුවක්.ඕස්ට්‍රේලියාව හා පැවති ටෙස්ට් තරඟාවලියේදී වැඩිම ලකුණු රැස් කළ පිතිකරුවාද වූයේ ධනංජයයි.එමෙන්ම ඕස්ට්‍රේලියාව හා පැවති එක්දින හා විස්සයි විස්ස තරඟ වලදී ඔහු දැක්වූ දක්ෂතා නිසාම බොහෝ දෙනාගේ අවධානය ඔහු වෙත යොමු වුණා.කාලෙකට පස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනගි පිතිකරුවෙකු බිහිවී ඇති බවයි බොහෝ දෙනාගේ අදහස වුණේ.පසුගිය දවසක පුවත්පතකට යම් යම් කාරණා සම්බන්ධයෙන් ධනංජය අදහස් දක්වා තිබුණා.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරඟාවලියක් ජය ගැනීම පිළිබඳ ඔහු අතිශයින්ම සතුටු වන බවයි ඔහු කියා සිටියේ. ජාතික කණ්ඩායමට එකතු වී ක්‍රීඩා කළ ප්‍රථම ටෙස්ට් තරගාවලිය මෙය නිසා ජයග්‍රහණය පිළිබඳව විශාල සතුටක් ඇති බවත් එය මතක සටහනක් බවත් ඔහු කියා සිටියා.

එක්දින හා විස්සයි විස්ස තරඟ වලට තමා ටෙස්ට් තරඟවලට කැමත්තක් දක්වන බවත් ඔහුගේ ක්‍රීඩා විලාශය ටෙස්ට් තරඟ රටාව සඳහා වඩාත් උචිත වන බවත් ඔහු කියා සිටියා.

ධනංජය ක්‍රිකට් වලට අත්පොත් තැබූ හැටි පිළිබඳවද මෙහිදී අදහස් දක්වා තිබුණා.

මම ක්‍රිකට්වලට සම්බන්ධ වුණේ මට අවුරුදු දහයක් වෙනකොට. ඒ දෙබරවැව ජාතික පාසලෙන්. මගේ පළමු පුහුණුකරු වුණේ නීල් කමල් සර්. ඊට පස්සේ ගාල්ල රිච්මන්ඞ් පාසලට ඇතුළත් වුණා. එතැනදි ධම්මික සුදර්ශන සර් තමයි මගේ පුහුණුකරු වුණේ. මගේ දක්ෂතා මතු වුණේ ඒ හරහා. 2011 අවුරුද්දේ පාසල් කණ්ඩායමේ නායකත්වය දැරුව නිසා මගේ දක්ෂතා කැපිලා පෙනුණා. ඒත් එක්කම 19 පහළ ජාතික කණ්ඩායමට ඇතුළත් වුණා. ඒ හැම දෙයක්ම සාර්ථකව කළේ ජාතික කණ්ඩායමට ඇතුළත් වෙන අදහසින් තමයි. ඇත්තටම මම හීන දැකපු ක්‍රීඩකයෙක් ජාත්‍යන්තර මට්ටමින් ක්‍රීඩා කරන්න.

ධනංජයද කැමතිම ක්‍රිකට් ක්‍රීඩකයා කවුද?නැත්නම් ධනංජයගේ ක්‍රිකට් ලෝකයේ වීරයා කවුද?මේ පැනයට ධනංජය දීලා තිබුනේ මේ වගේ පිළිතුරක්.

විරාත් කෝලිට මම හුඟාක් කැමැතියි. මම කැමැතිම ක්‍රීඩකයා එයා. විරාත්ගේ ක්‍රීඩා විලාසය හරිම ලස්සනයි. මම කැමැතියි ඔහු වගේ දක්ෂතා පෙන්වන්න. ඒත් ඔහුව අනුකරණය කරන්නේ නම් නැහැ.

ගෑනු ළමයින්ගෙන් ලැබෙන ප්‍රතිචාර පිළිබඳවද ධනංජය මෙහිදී අදහස් දක්වා තිබුණා.

ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. මට ෆේස් බුක් ගිණුමක් නැහැ. ෆෑන් පේජ් එකක් තියෙන්නේ. ඒකත් මම හදපු එකක් නෙමෙයි. මගේ යාළුවෙක් තමයි ඒ ගැන බලන්නේ. එයා කියන විදිහට නම් මට ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා එක එක විදිහට. මම කොහොමත් ෆේස් බුක් පාවිච්චි කරන කෙනෙක් නෙමෙයි. මම කැමැතිත් නැහැ. ඒත් ඒ හරහා මට ප්‍රතිචාර දක්වන එක ගැන මට සතුටුයි.

තමන්ගේ ක්‍රීඩා දිවියට අම්මා තාත්තා මල්ලි අයියා ඇතුළු පවුලේ උදවියගෙන් විශාල සහයක් ලැබුණ බවද ධනංජය එහිදී කියා සිටියා.