Friday, September 20, 2024

General line - 0115112241

‘හම්බන්තොට තරුණයා’ රක්ෂිත බන්ධනාගාරයට




පොලිස් අත්අඩංගුවේ සිටිය දී පලා ගිය හම්බන්තොට තරුණයා මේ මස 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, හම්බන්තොට දිසා විනිසුරු මංජුල කරුණාරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මෙම තරුණයා ඊයේ පස්වරුවේ සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට රැගෙන ආවා. රාත‍්‍රී 8. 30 සිට අලූයම 2 දක්වා එහි දී ඔහුගෙන් ප‍්‍රකාශයක් ද සටහන් කර ගෙන තිබෙනවා. එම තරුණයා හම්බන්තොට දිසා විනිසුරුවරයා හමුවට ඉදිරිපත් කර ඇත්තේ ඉන් අනතුරුවයි.

ඉකුත් පස්වනදා සිට අතුරුදන් වූ බව කියූ මෙම තරුණයා ඊයේ සොයා ගැණුනේ මාතර දික්වැල්ල ප‍්‍රදේශයේ විහාරස්ථානයකින්. එම විහාරස්ථානයේ හිමි නමක් විසින් මෙම තරුණයා පොලිස් මූලස්ථානයට රැගෙනවිත් භාරදෙනු ලැබුවා. මූලික පරීක්ෂණයේ දී අනාවරණ වී ඇත්තේ මෙම තරුණයා පොලිස් අත්අඩංගුවෙන් පලා ගොස් ඇති බවයි.

වී සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත හම්බන්තොට බදගිරිය ප‍්‍රදේශයේදී මෙම තරුණයා ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් 5 වනදායි. කතාබහට ලක්වූ අදාළ තරුණයා පසුව පොලිස් අත්අඩංගුවේදී අතුරුදන් වුණා. මෙම සිද්ධියේදී පොලීසිය අතින් රාජකාරී පැහැර හැරිමක් සිදුව ඇතැයි ද අනාවරණ වී තිබෙනවා. ඒ අනුව පොලිසියේ සිව් දෙනෙකුගේ වැඩ තහනම් කෙරුණා.