Friday, September 20, 2024

General line - 0115112241

රටේ සියලු ආර්ථික සංවර්ධන ව්‍යාපෘති මාස 03කට අමෙරිකානු සමාගමකට..!



අමෙරිකානු සමාගමක සහය ලබන වැඩසටහන් කලමණාකරණය කිරීමේ මධ්‍යගත ඒකකයක් පිහිටුවීම සම්බන්ධ කැබිනට් පති‍්‍රකාවක්, අනුමැතිය ලබාගැනීම සදහා කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත්ව ඇත. මෙම කැබිනට් පති‍්‍රකාව සකස් කර ඇත්තේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසිනි.

මෙවැනි ඒකකයක් සාම්ප‍්‍රදායික ක‍්‍රමවේදයක් යටතේ කි‍්‍රයාත්මක වීමට සැළැස්වීමෙන් කාලය නිරපරාදයේ වැය වීමටත්, අපේක්ෂිත ඉලක්ක සපුරාගැනීමටත් නොහැකි වීමටත් ඉඩ ඇති නිසා අගමැතිවරයාගේ නිර්දේශය වී ඇත්තේ මාස තුනක කාලයකට එම ඒකකයේ කටයුතු ඇමරිකා එක්සත් ජනපදයේ මැකින්සි සමාගම වෙත ලබා දීමය. මේ සදහා කොන්ත‍්‍රාත් පදනම යටතේ වන ඩොලර් ලක්ෂ 23 (රුපියල් මිලියන 336) ක ගෙවීම අයවැයෙන් සිදුකෙරෙන අමතර වෙන් කිරීමක් ලෙස සංස්ථාපිත අරමුදලෙන් ලබාදිය හැකි බවටද අගමැතිවරයා යෝජනා කර ඇත.

මෙම ඒකකයේ කාර්යභාරය අගමැතිවරයා මෙලෙස විස්තර කර ඇත.

‘‘ දිවයින පුරා කි‍්‍රයාත්මක ආර්ථික සංවර්ධන ව්‍යාපෘතීන් අන්තර්ග‍්‍රහණය කිරීම හා කාර්යක්ෂම කිරීමත්, රටේ ආර්ථිකය ප‍්‍රතිව්‍යූහගත කර එය තිරසාර සමාජ ආර්ථික ක‍්‍රමයක් බවට පත් කිරීමත් මෙම ඒකකයේ ප‍්‍රධාන කාර්යභාරය වේ. මැකින්සි සමාගම මේ සදහා තෝරාගැනීමට හේතුව වූයේ මෙවැනි කටයුතු වල නිතරව ඔවුනට සැළකිය යුතු තරමේ පළපුරුද්දක් තිබීමත්, ඔවුන්ගේ මැදිහත් වීම යටතේ ඉතාම සීඝ‍්‍රයෙන් දියුණු වන මලයාසියාව වැනි රටවල වැඩසටහන් කලමණාකරනය වෙනුවෙන් වන මධ්‍යගත ඒකක පිහිටුවීමට ඔවුන් කටයුතු කර තිබීමත් නිසාය.‘‘

නිර්දෙශිත ඒකකයට අදාළව සිදුකළ යුතු සංචාරයන්, උපදේශනයන් සහ පසු පිරික්සුම් කටයුතු සම්බන්ධ යෝජනාවලියක් මැකින්සි සමාගමෙන් රජය වෙත එවා තිබෙන බවද අගමැතිවරයා කැබිනට් මණ්ඩල හමුවේ පවසා ඇත. අදාල සමාගම සමග ඇතිකර ගැනෙන ගිවිසුම කොටස් පහකින් සමන්විතය.

අවශ්‍යතා පැහැදිලිව ප‍්‍රමුඛතා ගත කිරීමද, ඉහළම ප‍්‍රතිලාභයක් අත්කරගත හැකි ආර්ථික කටයුතු එම ප‍්‍රමුඛතා යටතට ඇතුළත් කිරීමද, රැස්වීම් සහ හමුවන් පැවැත්වීම, ඒවා නිසි ලෙස වාර්තාගත කිරීම, ආදියද මැකින්සි සමාගමට පැවරෙන වගකීම්ය.

මෙම ඒකකය පිහිටවුනු පසු කි‍්‍රයාත්මක වන්නේ අගමැති කාර්යාලය යටතේය. ජාතික ප‍්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු, සංවර්ධන මූලෝපාය සහ අන්තර්ජාතික වෙළඳාම යන අමාත්‍යංශ සමගද ඇති කිරීමට යෝජනා කර ඇති සංවර්ධනය සඳහා වන ආයතනයද සමග වැඩසටහන් කලමණාකරණනය කිරීමේ මධ්‍යගත ඒකකය සම්බන්ධ වනු ඇත.

(සන්ඩේ ටයිම්ස් ඇසුරෙනි)