Saturday, September 21, 2024

General line - 0115112241

අලුත් වැට් කෙටුම්පතටත් එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න ඒකාබද්ධ විපක්ෂය සූදානම් – හේතුව මෙන්න




වැට් බදු සංශෝධනය සඳහා අලුතින් ගැසට් කර ඇති කෙටුම්පත ද දෝෂ සහිත බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

ඒ අනුව මුලින් ඉදිරිපත් කළ කෙටුම්පතට එරෙහිව මෙන්ම මෙම අලුත් කෙටුම්පතට එරෙහිව ද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකරන බවයි ඔවුන් කියා සිටියේ. කොළඹ අද (27) පැවැත් වූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මේ පිළිබඳ සඳහන් කළා.

එහිදී හෙතෙම සඳහන් කළේ “සැප්තැම්බර් මාසයේ 09 වැනිදා වැට් සංශෝධනයට අදාළව මෙම ගැසට් නිවේදනය නිකුත් කළා. කැබිනට් මණ්ඩලය රැස්වෙන්නෙ 13 වැනිදා. මෙතෙක් පැවැති සම්ප්‍රදාය තමයි කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා සාකච්ඡා කිරීමෙන් පසු ගැසට් කරලා.. ගැසට් කරාට පස්සෙ තමයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නෙ. මේක ගැසට් කරලා තමයි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා තියෙන්නෙ. කැබිනට් එක අනුමත කරලා තියෙනවා පාර්ලිමේන්තුවට යවන්න..තාම ආවේ නැහැ. අපි බලන් ඉන්නවා ඇයි නාවේ.. කිමද නාවේ කියලා..” යනුවෙනි.

හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ද මෙම මාධ්‍ය හමුවට සහභාගි වී සිටියා. ඔහු පැවසුවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වත්මන් ආණ්ඩුව විසින් අමෙරිකානු සමාගමක අධීක්ෂණයට පවරා ඇති බවයි.

මෙමගින් ශ‍්‍රී ලංකාවේ වැදගත් දත්ත අමෙරිකාවට විවෘත වී ජාතික ආරක්ෂාවට ද තර්ජනයක් ඇති වන බව මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.