Saturday, September 21, 2024

General line - 0115112241

දේශපාලන හයියෙන් මාරුව නවතාගෙන සිටි බන්ධනාගාර සැරයන්ටත් නෙත් අනාවරණයෙන් යන්න වෙයි




නවකවද සිද්ධියකට සම්බන්ධ බව කියන වැලිකඩ බන්ධනාගාරයේ සැරයන්වරයෙකුට ස්ථාන මාරුවක් ලබාදී තිබෙනවා. අදාළ ස්ථාන මාරුව මාතර ප‍්‍රදේශයේ දේශපාලනඥයෙකුගේ මැදිහත්වීමෙන් වළක්වා ඇතැයි නෙත් නිවුස් මීට පෙර අනාවරණ කළා. ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක තුෂාර උපුල්දෙණිය ප‍්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ධයෙන් වහා සොයා බැලීමක් සිදුකරන බවයි.

වැලිකඩ බන්ධනාගාරයේ තනිකඩ නිල නිවාසයෙහි මීට මාස දෙකකට පමණ පෙර අලූතින් සේවයට පැමිණි බන්ධනාගාර නියාමකවරුන් පිරිසකට ජේ්‍යෂ්ඨ බන්ධනාගාර නියාමකවරුන් පිරිසක් නවක වදය ලබාදී තිබුණා. එහිදී බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණු අතර තවත් නියාමකවරුන් දෙදෙනෙකු සේවය අතහැර ගොස් තිබූ බවයි වාර්තා වුණේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ අනාවරණයෙන් පසු බන්ධනාගාර දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කළා. ඒ අනුව සිද්ධියට සම්බන්ධ නිලධාරීන් දෙදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දීමට නිර්දේශ කෙරුණා. කෙසේ වෙතත් ඔවුන්ගෙන් ස්ථාන මාරුවීම් ලබා දී තිබුණේ එක් බන්ධනාගාර නියාමකවරයෙකුට පමණයි. බන්ධනාගාර ආරංචි කියාසිිටියේ දේශපාලන මැදිහත්වීමක් මත අනෙක් ස්ථාන මාරුව නතර වී ඇති බවයි.

කෙසේවෙතත් නෙත් නිවුස් කළ මෙම අනාවරණයෙන් පසු අනෙක් නිලධාරියාද වහාම කි‍්‍රයාත්මක වන පරිදි බන්ධනාගාර පුහුණු පාසලට මාරු කර යවා තිබෙනවා. අදාළ ස්ථාන මාරුව කි‍්‍රයාත්මක නොවීම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාගෙන් නිදහසට කරුණු විමසා ඇති බවද වාර්තා වුණා.