Sunday, December 22, 2024

General line - 0115112241

‘රජය ඉන්දියාව සතුටු කළා’ – ‘ශ්‍රී ලංකාව පැත්තක් ගත්තෙ නැහැ’




පාකිස්තානයේ දී පැවැත්වීමට නියමිතව තිබූ සාර්ක් සමුළුව සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව ක‍්‍රියා කළ ආකාරය ගැටළු සහගත බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල පැවසුවේ කලාපයේ පවතින තත්ත්වයන් හමුවේ සාර්ක් සමුළුව පැවැත්විය නොහැකි බවට ලංකා රජය සිදු කළ ප‍්‍රකාශය ඉන්දියාව සතුටු කිරීමට සිදු කළ එකක් බවයි.

එහිදී හෙතෙම පැවසුවේ ශ්‍රී ලංකාව සාර්ක් සමුළුව සම්බන්ධයෙන් ගත් ස්ථාවරය ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ අග්නි පරීක්ෂාවක් සේ සැළකිය හැකි බවයි.

මෙම ක‍්‍රියාව මගින් වත්මන් රජය සිය රාජ්‍ය තාන්ත‍්‍රික ක්ෂේත‍්‍රයේ අමනෝඤ්ඤ බව ප‍්‍රදර්ශනය කර ඇති බවයි උදය ගම්මන්පිල මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ආණ්ඩුව වෙනුවෙන් මෙම චෝදනාවන්ට පිළිතුරු දුන් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා පැවසුවේ රාජතාන්ත‍්‍රික කරුණු පිළිබඳ අවබෝධයකින් තොරව උදය ගම්මන්පිල මන්ත‍්‍රීවරයා එම ප‍්‍රකාශය සිදු කර ඇති බවයි.

එහිදී හෙතෙම පැවසුවේ ශ්‍රී ලංකා රජය එක් පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී නොසිටි බවත් සාර්ක් සම්ප්‍රදාය ආරක්ෂා කරමින් කටයුතු කර ඇති බවයි. මීට පෙරද එක් රටක් සහභාගී විය නොහැකි බව දැනුම් දුන් කළ සමුළුව අතහැර දැමූ අවස්ථා ඇති බවත් පැවසුවා.