Monday, September 23, 2024

General line - 0115112241

දේශපාලන ප්‍රභූන් 04 ක් බන්ධනාගාර රෝහලේ – දුමින්දගේත් මතකය අඩු වෙයි




විවිධ වැරදිවලට දඩුවම් ලබා හෝ සැකපිට බන්ධනාගාරගත කෙරුණු දේශපාලන ප‍්‍රභූන් හතර දෙනෙකු මේ වන විට වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව සිටින බව වාර්තා වනවා.

මරණ දඩුවමට ලක්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා ඔවුන්ගෙන් කෙනෙක්. උණ රෝගයක් හේතුවෙන් මීට සතියකට පෙර ඔහු රෝහල්ගත කෙරුණා. මතකය අඩුවීම සහ පෙණහළු ආසාදන තත්ත්වයන්ගෙන් ද දුමින්ද සිල්වා පීඩා විඳින බවටයි වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත්තේ.

රක්‍ෂිත බන්ධනාගාරගතව සිටින ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු වන ජයන්ත සමරවීරද බන්ධනාගාර ගත කළ දිනයේම වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණා. ඔහු අධික රුධිර පීඩනය සහ හෘද රෝගී තත්ත්වයෙන් පෙළෙන බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

රක්ෂිත බන්ධනාගාරගත පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශගේ සහෝදරයෙකු වන සරත් වීරවංශ ද එම රෝග දෙකෙන්ම පෙළෙන බව වෛද්‍යවරුන් ප‍්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව ඔහු ද මේ වන විට සිටින්නේ වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබමින්.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලොහාන් රත්වත්තේගේ සහෝදරයෙකු වන චානුක රත්වත්තේද වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබනවා. රක්ෂිත බන්ධනාගාරගතව සිටින ඔහු අධි කොලෙස්ටරෝල් සහ විශාදය යන රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන බවයි වෛද්‍යවරුන් ප‍්‍රකාශ කර ඇත්තේ.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක, කොමසාරිස් තුෂාර උපුල්දෙණියගෙන් ද විමසීමක් කළා. ඔහු කියා සිටියේ ඉහත නම් සඳහන් දේශපාලන ප‍්‍රභූන් හතර දෙනාම රෝහල්ගත කර සිටින්නේ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත බවයි.