Tuesday, April 23, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකාවේ වේගවත් සංවර්ධනය යුරෝපා සංගමයේ පැසසුමට




ඉතා කෙටි කාලයක් තුළ නව රජය යටතේ ශ‍්‍රී ලංකාව ලබාගෙන ඇති වේගවත් සංවර්ධනය පිළිබඳ තමා සතුටට පත්වන බව යුරෝපා සංගමයේ ශ‍්‍රී ලංකාව සඳහා වූ නව තානාපති තුං ලායි මාර්ග් (Tung-Lai margue) පවසනවා.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත සිය අක්තපත‍්‍ර භාරදීමේ අවස්ථාවට අද (14) පෙරවරුවේ එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

අක්තපත‍්‍ර භාරදීම සිදුකෙරුණේ ජනාධිපති නිල නිවසේදීයි. රට තුළ සංහිඳියාව ඇති කිරීම සඳහා ගෙන ඇති උත්සහයන්ට යුරෝපා සංගමයේ පූර්ණ සහාය පිරිනමන බවද නව තානාපතිවරයා ජනාධිපතිවරයා හමුවේ මෙහිදී ප‍්‍රකාශ කළා.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේ වෙළෙඳ සහ ආයෝජන ඇතුළු සියලු අංශවලින් යුරෝපා සංගමය සමග පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට නව තානාපතිවරයා කටයුතු කරනු ඇති බවයි.

යුරෝපා සංගමය ශ‍්‍රී ලංකාවට ජී.එස්.පී. සහනය ලබාදීමට කටයුතු කරන්නේ නම් එය මෙරට ඇඟලුම් ක්ෂේත‍්‍රයේ වර්ධනයට ප‍්‍රබල පිටිවහලක් වනු ඇතැයිද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

h-e-ambassador-tung-lai-margue-presented-his-credentials-to-h-e-president