Friday, March 29, 2024

General line - 0115112241

අගමැතිකම මහින්දට දෙන්නැයි වෙල්ගම කියයි




ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉකුත් දා කළ මත්භේදාත්මක ප‍්‍රකාශය සම්බන්ධයෙන් අදත් විවිධ අදහස් පළ වුණා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග.

“ඒක මම දකින්නේ නාට්‍යයක , රංගනයක , දෙබසක වෙච්ච දෙයක් වගේ. ජනාධිපතිතුමා ක්‍රියාකළ යුත්තේ එතුමා එහෙම විශ්වාස කරනවනම් ඒ පිළිබඳව කතාකරන්නේ නැතුව ක්‍රියාවෙන් ඔප්පු කරන එක. 2001 චන්ද්‍රිකා මැතිණිය ජනාධිපති ධූරයේ ඉද්දි රනිල් වික්‍රමසිංහ මහත්තයා ආණ්ඩුව අරගෙන එල්.ටී.ටී එකට ආයුද දෙනකොට එතුමියට ලැබිච්ච තොරතුරු අනුව ඒ අමාත්‍යංශය ජනාධිපතිතුමිය පවරගත්තා. එතුමා රටේ විධායක ජනාධිපතිවරයා හැටියට සෑහීමකට පත්වෙන්නේ නැත්නම් කළයුත්තේ ඒ වගේ ක්‍රියාමාර්ගයක් ගැනීමයි”.

ප‍්‍රසන්න රණතුංග මන්ත‍්‍රීවරයා එම අදහස් පළ කළේ රාගම ප‍්‍රදේශයේ දී මාධ්‍යවේදීන් කළ ප‍්‍රශ්න කිරීමකට පිළිතුරු ලබා දෙමින්.

බුලත්සිංහල පැවති උත්සවයක දී පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඒ, අග‍්‍රාමාත්‍ය ධුරය මහින්ද රාජපක්ෂ මහතාට ලබා දෙන්නැයි ජනාධිපතිවරයාට යෝජනාවක් ද කරමින්.

“දැන් කවුරුත් බලාගෙන ඉන්නවා ජනාධිපතිතුමා කියන කතා. ඒ වගේම මේ ආණ්ඩුවේ තියෙන හැල හැප්පිලි සේරම බලාගෙන ඉන්නවා. අද ආණ්ඩුව ගෙනියන්නේ එක්සත් ජාතික පක්ෂයේ අගමැතිතුමා ඇතුළු කණ්ඩායම. එතකොට ජනාධිපතිතුමා , ජනාධිපතිතුමාට තමයි විධායක බලතල තියෙන්නේ තවමත්. විධායක බලතල අයින් කරලා නැහැනේ. ඉතිං මේ විධායක බලය අතේ තියාගෙන ඇයි ඒක පාවිච්චි කරන්න බැරි. ඒක පාවිච්චි කරලා මේ ආණ්ඩුව ගෙදර යවන්න ජනාධිපතිතුමාට පුළුවන්. එතුමා ජනාධිපතිධූරයේ හිටියට අපිට කිසි ප්‍රශ්ණයක් නැහැ. අපි 51 දෙනාම ඒකට විරුද්ධ නැහැ. නමුත් මේ රටේ අගමැතිකම එහෙනම් මහින්ද රාජපක්ෂ මහත්තයට දියයුතුයි කියන එක අපි මේ අවස්ථාවේ කියන්න ඕනේ. එතකොට අපිට අංග සම්පූර්ණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදන්න පුළුවන්”.

මේ අතර කළුතර පැවති උත්සවයක දී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම කියා සිටියේ ජනාධිපතිවරයාට ජනතාව බලය ලබා දී ඇත්තේ යහපාලනයක් සඳහා බවයි. එහි දී සියලු දෙනාට පොදුව නීතිය ක‍්‍රියාත්මක කරමින් වරදකරුවන්ට දඩුවම් ලබාදිය යුතු බව ඔහු අවධාරණය කළා.