Thursday, April 25, 2024

General line - 0115112241

පාරිභෝගිකයින්ට වන්දි ගෙවීමට ඇමති සියඹලාපිටිය සූදානම්




අඛණ්ඩ විදුලි සැපයුමක් නොලැබෙන්නේ නම් පාරිභෝගිකයින්ට විදුලිබල මණ්ඩලයෙන් වන්දි ගෙවීමේ නීති පද්ධතියක් සකස් කිරීමට තීරණය කර ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම විදුලිබල මණ්ඩලයේ වගකීමක් වන බවයි.

“විදුලිබලය සම්බන්ධ නීති සම්පාදනය කරන්නේ මහජන උපයෝගීතා කොමිසම. නමුත් එම නීති, නීතියක් බවට පත්කරලා, ක‍්‍රියාවට නංවන්න බලය තිබෙන්නේ විෂයභාර අමාත්‍යවරයාට. මහජන උපයෝගීතා කොමිසම පිහිටුවලා වසර 06ක්. 7ක් වුණත්, මේ වනතෙක් විදුලිය සම්බන්ධ නීති පද්ධතියක් සකස් කරලා තිබුණේ නැහැ. පසුගියදා ඇතිවු විදුලිබල ගැටළුවත් සමග මාගේ ප‍්‍රධානත්වයෙන් පත්කරපු අමාත්‍ය මණ්ඩල කමිටුව මගින් විදුලිය සම්බන්ධ නීති පද්ධතියක් සකස් කළා. ඒවා තමයි කාර්යක්ෂම. අඛණ්ඩ විදුලි උත්පාදනය, සම්පේ‍්‍රශණය සහ බෙදාහැරීම වගේ දේවල්. මේවා නිසි පරිදි ඉටු නොවුණහොත් මහජනතාවට පුළුවන් අපෙන් වන්දි ලබාගන්න. මේ නිසා විදුලිබල මණ්ඩලයේ වගකීම වඩාත් වැඩි වෙනවා. අපි කැමතියි ඒ අභියෝගය බාරගන්න” යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවා.

සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් පාසල් දරුවන්ගේ බලශක්ති සංරක්ෂණය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද කෑගල්ල පින්දෙනිය මධ්‍ය මහා විද්‍යාලයේ පැවති අනාගත සිහින අධ්‍යාපනික ප‍්‍රදර්ශනය සහ ඊට සමගාමීව පැවති විදුලි ජංගම සේවයට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළා.

පරමාණු බලශක්තියෙන් විදුලිය උත්පාදනය කිරීමේ ක‍්‍රමවේදයක් කරා ශ‍්‍රී ලංකාව ගමන් කළ යුතුව ඇතැයි ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් කියා සිටියා.

“විදුලිබල මණ්ඩලය මේ වනවිට වඩාත් ජනතාවාදි වෙලා. අපේ වගකීම තිබෙන්නේ, විදුලිය නිපදවලා, සම්පේ‍්‍රශනය කරලා බෙදාහැරලා, අවසානයේ බිල එවන එකයි. නමුත් මේ වෙද්දි විදුලිබල මණ්ඩලය ඒ ප‍්‍රතිපත්තියෙන් මිදිලා විදුලිය ගන්න බැරි ජනතාවට විදුලිය ලබාගන්න ණය සපයලා විදුයි ලබාදෙනවා. මේ වගේ ජංගම සේවාවන් තුළින් විදුලිය සම්බන්ධ අනෙකුත් ගැටළු විසඳලා දෙන්නත් අද පෙළඹිලා.

ලෝකයේ සෑම රටක්ම බලශක්ති අර්බුදයක ඉන්නවා. බලශක්තිය තිබුණත් ඒවායින් මොනවාද යොදා ගන්නේ කියන එක ගැටළුවක්. මේවා තුළින් විවිධාකාරයෙන් සටන් පාඨ මවන්නනම් හරි පහසුයි. නමත් එක තත්ත්පරයක්වත් විදුලිය නැතිව ඉන්නත් බැහැ. ඒ නිසාම අපේ වගකීම වැඩියි. ඒ නිසා අනාගතය සැලසුම් කිරීමේදී වඩාත් නිර්මාණශීලි ක‍්‍රමවේදයක් යොදාගත යුතුයි. අනාගතයේදී විදුලි උත්පාදනයට පරමානුක ශක්තියත් යොදාගන්න සිදුවේවි. නමුත් අපේ රටේ ජනතාවට පරමානුක යන නම දැක්කමත් භීතියක් ඇතිවෙනවා. එහෙම රටක් මේක. මෙම තත්ත්වයන් වෙනස් කළ යුතුයි. ඒ සඳහා මේ වගේ දැනුවත් කිරීම ඉතා වැදගත්. අනවශ්‍ය දේ හරි පහසුවෙන් මිනිසුන් තුළට ගෙනගියත් නිවැරදි අවශ්‍යදේ මිනිස් මනසට කාවද්දන්න ගොඩක් අමාරුයි. ප‍්‍රමාදයි. ඒ නිසා අනාගත පරපුර නිර්මාණහිලී කරන්න මේ වගේ ප‍්‍රදර්ශන සංවිධානය කිරීම ඉතා වැදගත්”