Sunday, September 22, 2024

General line - 0115112241

හංගපු බදු ගැලවූ නව VAT කෙටුම්පත අද පාර්ලිමේන්තුවට




දිගින් දිගටම කතාබහට ලක්වූ වැට් සංශෝන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට අද (26) ඉදිරිපත් කෙරෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය කථානායකවරයාට දැනුම් දී තිබුණේ මෙම කෙටුම්පත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවයි.
මේ අතර අද ඉදිරිපත් කෙරෙන වැට් සංශෝධන පනත් කෙටුම්පතෙන් මෙතෙක් අය කෙරුණු සැඟවුණු බදු සියල්ල ඉවත් කෙරෙන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා. බදු ක‍්‍රමය වඩා සරල කිරීම ද විනිවිදභාවය ඇති කිරීම ද මෙමගින් සිදුකෙරෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

වැට් බද්ද ශ‍්‍රී ලංකාවට පළමු වරට හඳුන්වා දුන්නේ 2002 වසරේදීයි. එවක එම බද්ද භාණ්ඩ හා සේවා සඳහා පමණක් අය කරන ලද අතර එහි ප‍්‍රතිශතය සියයට 10ක් වුණා. 2006 වසර වන විට වැට් බද්දේ ප‍්‍රතිශතය සියයට 20ක් දක්වා වැඩි කෙරුණු අතර 2013 වසරේදී පළමු වරට තොග හා සිල්ලර වෙළෙඳාම ද වැට් බද්දට යටත් කෙරුණු බවයි මුදල් අමාත්‍යංශය පවසන්නේ.

විවිධ සැඟවුණු අය කිරීම් ද මේ වන විට වැට් බද්දට ඇතුළත් වී තිබෙන බව අමාත්‍ය රවී කරුණානායක පෙන්වා දෙනවා. වැට් බද්ද අය කිරීමේ පටිපාටිය නිසා ඇතැම් ව්‍යාපාරිකයින්ට අසාධාරණයක් ද සිදුවන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ඒකාබද්ධ විපක්ෂය පවසන්නේ අද ඉදිරිපත් කෙරෙන වැට් සංශෝධන පනත් කෙටුම්පතෙන් ජනතාව තව තවත් පීඩාවට පත් කෙරෙන බවයි. ඒ සඳහා සංශෝධන කිහිපයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද ඔවුන් කියා සිටියා.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ, ආණ්ඩුව නියෝජනය කරන කණ්ඩායමෙන් ද අදහස් විමසා සිටියා. රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසන්නේ මල නොතලා රොන්ගතයුතු ආකාරය තම පිරිස කියාදුන් බවයි.

වැට් ප‍්‍රතිශතය සියයට 15 දක්වා වැඩි කිරීම ඇතුළු යෝජනා ඇතුළත්ව මීට පෙර ද කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දුන්නේ එම කෙටුම්පත නියමිත පටිපාටියෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවයි. ඒ නිසා එම කෙටුම්පත නොසලකා හැරුණු අතර වැට් සංශෝධන නව කෙටුම්පත සකස් කෙරුණේ ඉන් අනතුරුවයි.