Sunday, September 22, 2024

General line - 0115112241

ජනාධිපතිවරණයේ දෙවන මනාපය ගණන් කිරීම අවසන් අදියරේ - අනුරගේ ජය ස්ථිරයි - මාලිමාව කියයි




ඊයේ පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා බහුතර බලයක් හිමිකරගෙන තිටෙබනවා.

සමස්ත දිවයිනෙන්ම ඔහු ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 56 ලක්ෂ 34,915ක්. එය ප්‍රතිශතයක් ලෙස සියයට 42යි දශම 3යි 1ක් වනවා.

දෙවන ස්ථානයට පත්ව සිටින සජිත් ප්‍රේමදාස මහතා ලබාගෙන ඇති මුළු ඡන්ද සංඛ්‍යාව 43 ලක්ෂ 63,035ක්.

එය ප්‍රතිශතයක් ලෙස ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 32යි දශම 7යි 6ක්. ඒ අනුව ඉදිරියෙන්ම සිටින අපේක්ෂකයින් දෙදෙනා වන මෙම අපේක්ෂකයින් දෙදෙනාගෙන් එක් අයෙකු සියයට 50ක ඡන්ද ප්‍රතිශතයක් ඉක්මවා ගොස් නොමැති නිසා දෙවන හා තුන්වන මනාප ගණන් කිරීමට මැතිවරණ කොමිෂම තීරණය කළා.

ඒ, 1981 ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම් පනතේ විධිවිධාන අනුවයි.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා.


දෙවන සහ තුන්වන මනාප ගණන් කරන ආකාර සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්ව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා.


එම මනාප ගණන් කිරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

මනාප ගණන් කිරීම ක්‍රියාත්මක වුවද අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය තහවුරු වී ඇති බවයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අද මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ.


ඊයේ පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව මැතිවරණ දිස්ත්‍රික්ක විසි දෙකෙන් 14ක් ජයගත්තේ අනුර කුමාර දිසානායක මහතායි.

කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, මහනුවර, කුරුණෑගල, මාතලේ, අනුරාධපුර, පොලොන්නරුව, කෑගල්ල, රත්නපුර, සහ පුත්තලම දිස්ත්‍රික්ක අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය කළා.

සජිත් ප්‍රේමදාස මහතා දිස්ත්‍රික්ක 07ක් ජයගත් අතර එම දිස්ත්‍රික්ක වන්නේ බදුල්ල, නුවරඑළිය, මොණරාගල, ත්‍රිකුණාමලය, මඩකලපුව, දිගාමඩුල්ල සහ වන්නි දිස්ත්‍රික්කයි.

දෙමළ පොදු අපේක්ෂකයා ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ පී. අරියනේත්‍රන් මහතා යාපනය දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළා.

තැපැල් ඡන්ද ප්‍රතිඵල අනුව දිස්ත්‍රික්ක 22න් 19ක් ජයගත්තේ අනුර කුමාර දිසානායක මහතායි. රනිල් වික්‍රමසිංහ මහතා යාපනය සහ මඩකලපුව දිස්ත්‍රික්කවල තැපැල් ඡන්ද ජයග්‍රහණය කළ අතර සජිත් ප්‍රේමදාස මහතා වන්නි දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දයෙන් ජයග්‍රහණය කළා.

දිවයිනේ මැතිවරණ බල ප්‍රදේශ 160න් 105ක් ජයගත්තේ අනුර කුමාර දිසානායක මහතායි. සජිත් ප්‍රේමදාස මහතා මැතිවරණ බල ප්‍රදේශ 44ක් ජයගත්තා.

මැතිවරණ බල ප්‍රදේශ 11ක ජය හිමි වුණේ පී අරියනේත්‍රන් මහතාටයි. 

අනුර කුමාර දිසානායක මහතාට වැඩිම ඡන්ද සංඛ්‍යාවක් හිමි වුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම දිස්ත්‍රික්කයෙන් ඡන්ද අට ලක්ෂ 9,410ක් ඔහුට හිමි වූ අතර එය ප්‍රකාශිත ඡන්දවල ප්‍රතිශතයක් ලෙස සියයට 55යි දශම 5යි 0ක්.

සජිත් ප්‍රේමදාස මහතා ගම්පහ දිස්ත්‍රික්කයෙන් තුන් ලක්ෂ 49,550ක් හිමිකර ගත්තා.

එය සියයට 23යි දශම 9යි 7ක ප්‍රතිශතයක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් රනිල් වික්‍රමසිංහ මහතා හිමිකරගත් ඡන්ද සංඛ්‍යාව දෙලක්ෂ 16,028ක්. නාමල් රාජපක්ෂ මහතාට එම දිස්ත්‍රික්කයෙන් හිමි වූ ඡන්ද ගණන 41,193ක්.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්ද හය ලක්ෂ 29,963ක් හිමිකර ගැනීමට අනුර කුමාර දිසානායක මහතා සමත් වුණා.  

සජිත් ප්‍රේමදාස මහතාට කොළඹ දිස්ත්‍රික්කයෙන් ලබාගත හැකි වූ ඡන්ද සංඛ්‍යාව තුන් ලක්ෂ 42,108ක්. රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්ද දෙලක්ෂ 81,436ක් හිමිකර ගත්තා. නාමල් රාජපක්ෂ මහතාට කොළඹ දිස්ත්‍රික්කයෙන් තිස් දහස් 432ක් හිමි වුණා.