Sunday, September 8, 2024

General line - 0115112241

ආණ්ඩුවට ජල ගාස්තු වැඩි කරන්න වුණ හේතුව හිටපු ඇමති කියයි




ජල ගාස්තු වැඩි කිරීමට ගෙන ඇති තීරණය කිසිසේත් සාධරණය කළ නොහැකි බව එම විෂයභාර හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

ඔහු කියා සිටියේ ජල ගාස්තු මෙලෙස වැඩි කිරීමට සිදුව ඇත්තේ ආණ්ඩුවේ අවිධිමත් සහ මන්දගාමී වැඩපිළිවෙල නිසා බවයි.

පැවැති රජයේ වැඩපිළිවෙල තුළ ජලය ඉතිරි කර ගැනීමට ක්‍රියා කළ බවත් වර්තමාන ආණ්ඩුව මෙම වසර දෙක තුළ කිසිඳු ජල යෝජනා ක්‍රමයක් අලුතින් හඳුන්වා නොදුන් බවත් ජනතාවගෙන් මුදල් එකතු කිරීම පමණක් සිදු කර ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නා.

ජල ගාස්තුව ලබන මාසයේ සිට සියයට 30 කින් පමණ වැඩි කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ඊයේ (12) නිවේදනය කළා.  ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ඉකුත් දෙවැනිදා දිනයේයි.

ජල ගාස්තු වසර 03 කට වරක් සංශෝධනය කිරීම සාමාන්‍යයෙන් සිදුවන බවද එහෙත් අවසන් වරට ජල ගාස්තු සංශෝධනය කර ඇත්තේ මීට වසර හතරකට පෙර 2012 වසරේ දී බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කියා සිටියා.

මෙවර ජල ගාස්තු සංශෝධනය සිදු කෙරෙන්නේ ඒ බව ද සැලකිල්ලට ගනිමින් බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. කෙසේ වෙතත් අඩු ආදායම්ලාභීන්ට, පාසල්වලට සහ පූජනීය ස්ථානවලට තවදුරටත් සහන හිමිවන බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවා.