Saturday, April 27, 2024

General line - 0115112241

ඇසක් නැති වූ බව කියන ආබාධිත රණවිරුවා නෙත් නිවුස් වෙත කතා කරයි




රණවිරුවන්ගේ අයිතිවාසිකම් දිනාදීමට බලධාරීන් මීට වඩා වගකීමෙන් කටයුතු කළයුතු බව ආබාධිත රණවිරුවෙකු වන විශ්‍රාමික ලාන්ස් කෝප‍්‍රල් වයි.කේ නිශාන්ත මහිරාජ පවසනවා.

කොළඹදී ඉකුත්දා පැවති උද්ඝෝෂණයක් අතරවාරයේ පොලිසිය සිදු කළ පහරදීමකින් ඇසක් අන්ධ වූ බව කියන ආබාධිත රණවිරුවාද ඔහුයි.

සේවා කාලය වසර 12 ක් සම්පූර්ණ නොකළ ආබාධිත රණවිරුවන්ට විශ‍්‍රාම වැටුප් ඉල්ලා අදාළ උද්ඝෝෂණය සිදු කෙරුණු අතර ඔවුන් විසුරුවා හැරීම සඳහා පොලිසිය ජල හා කඳුලූ ගෑස් ප‍්‍රහාරයක් එල්ල කළා.

එහිදී ඔහුගේ ඇසක් අන්ධ වූ බවටයි පැවසෙන්නේ. මෙම රණවිරුවා මේ වනවිට කොළඹ අක්ෂි රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.

මේ එහි සිට විශ්‍රාමික ලාන්ස් කෝප‍්‍රල් නිශාන්ත මහිරාජ නෙත් නිවුස් වෙත දැක්වූ අදහස්.

“මම බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනවා මට කවුරු පහරදුන්නත් , ඒත් ආරක්ෂක අංශයේ සේවය කරන රණවිරුවෙක් නම් ඔහුටත් විනයානූකූලව කිසිම කටයුක්තක් කරන්න එපා ඔහු රාජකාරිය ඉටුකරලා තියෙන්නේ. ඒ වගේම ඉදිරියේදිවත් අපේ රණවිරුවන්ගේ අයිතිවාසිකම් දිනාදෙන්න. වගකිවයුතු නිලධාරීන් මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න. රට නිදහස් වුනාට පසුසේ කවුරුහරි හිතාගෙන ඉන්නවනම් ප්‍රශ්න ඉවරයි කියලා මට දැනෙන දෙයක් තියෙනවා ඒ තමයි තව අවුරුදු 25කටවත් මේ ප්‍රශ්ණ ඉවරවෙන්නේ නැහැ. එතකොට දැන් තමයි දරුණුම කාලේට මුහුණ දෙන්න වෙලාතියෙන්නේ රටට”.

ආබාධිත රණවිරුවන් කෙරෙහි රජය මීට වඩා වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවයි විශ්‍රාමික ලාන්ස් කෝප‍්‍රල් නිශාන්ත මහිරාජ නෙත් නිවුස් වෙත කියාසිටියේ.

මෙම රණවිරුවා වෙනුවෙන් ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ගොනු කරන බවයි මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය ප‍්‍රකාශ කළේ.