Saturday, September 21, 2024

General line - 0115112241

බස් සේවක වර්ජනය ටික ටික වැඩි වෙයි – ගැමුණුගෙන් තාම ප්‍රතිචාරයක් නැහැ




මාර්ග වැරදි සම්බන්ධයෙන් දඩ මුදල් වැඩි කිරීමට විරෝධය පළ කරමින් ආරම්භ කෙරුණු සිය වැඩවර්ජනයට මේ වන විට රට පුරා බස් රථ ගණනාවක් එක් වී ඇතැයි සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය පවසනවා.

කඩිනමින් විසඳුමක් ලබානොදුනහොත් පාසල් වෑන් රථ සහ ත‍්‍රීරෝද රථ රියදුරන්වද  ඉදිරියේදී මෙම වැඩවර්ජනයට එක්කර ගන්නා බවයි එහි කැඳවුම්කරු කුමාර රත්න රේණුක කියා සිටියේ.

බස් සේවකයින්ගේ වැඩවර්ජනය නිසා බස් රථ ධාවනයට සිදුවී ඇති බලපෑම කෙබඳුදැයි නෙත් නිවුස් වාර්තාකරුවන් ප‍්‍රදේශ කිහිපයකදී විමසා බැලුවා. එහිදී නිරීක්ෂණය වුණේ බොහෝ ප‍්‍රදේශවල බස් රථ ධාවනයට සැලකිය යුතු බලපෑමක් සිදුවී නොමැති බවයි.

මාර්ග වැරදි සම්බන්ධයෙන් දඩ මුදල් වැඩි කිරීමට විරෝධය පළ කරමින් බස් රථ හිමියන් ද මීට පෙර වැඩවර්ජනයක් කැඳවා තිබුණා.

කෙසේ වෙතත් ඉකුත් සඳුදා පස්වරුවේ මුදල් අමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡාවෙන් පසු ඔවුන් තීරණය කළේ එම වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමටයි.

එසේ තිබියදී බස් රථ සේවකයින් විසින් අද වැඩවර්ජනයක් කැඳවා තිබීම සම්බන්ධයෙන් නෙත් නිවුස් ඔවුන්ගෙන් විමසීමක් කළා. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න එහිදී කියා සිටියේ ඉදිරියේදී ඊට ප‍්‍රතිචාර දක්වන බවයි.