Friday, October 18, 2024

General line - 0115112241

වාහන කුලී දීමනාව ගැන අදත් පාර්ලිමේන්තුවේදී ඇදෙයි




මන්ත‍්‍රීවරුන් 58 දෙනෙකුට ලබාදීමට යෝජනා වී ඇති වාහන කුලී දීමනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද (17) නැවත ප‍්‍රශ්න කෙරුණා.

විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක කියා සිටියේ මෙම දීමනාව පිටුපස කිසියම් මූල්‍ය අක‍්‍රමිකතාවක් සිදුවන්නේදැයි ද සැකයක් පවතින බවයි.

අදාළ දීමනාව සම්බන්ධයෙන් ආණ්ඩුවේ පිළිතුරු අපේක්ෂාවෙන් ප‍්‍රශ්න කිහිපයක් ද මෙහිදී ඉදිරිපත් කෙරුණා.

(එම ප්‍රකාශය පහතින් දැක්වෙයි)

මේ අතර අයවැය දෙවනවර කියවීමේ විවාදය 5 වන දිනට දැන් පැවැත්වෙනවා.

එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් කියා සිටියේ ණය බර හේතුවෙන් ආණ්ඩුව මුහුණදී සිටින අපහසුතා තමන්ට තේරුම්ගත හැකි බවයි. එහෙත් කිසිදු තත්ත්වයක් යටතේ වුවද දිළිඳු ජනතාව මත දරාගත නොහැකි බරක් පැටවීම සිදුනොකළ යුතු බවද ඔහු අවධාරණය කළා.

සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ද අද විවාදයට එක්වුණා. ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අයවැය විවාදයේදී ඊයේ කළ ප‍්‍රකාශයකටද ප‍්‍රතිචාර දක්වමින්.

එහිදී හෙතෙම සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයාගේ කාලයේ එකම කර්මාන්ත ශාලාවක්වත් විවෘත කිරීමට නොහැකි වූ බවයි.  ඒ නිසාවෙන් මෙරට ඉදිරියේදී පිහිටවන කර්මාන්තශාලාවල නිෂ්පාදන එක්ටා ගිවිසුම හරහා ඉන්දියාවට යැවීමට සැළසුම් කර ඇති බවත් සඳහන් කළා.