Thursday, December 26, 2024

General line - 0115112241

ආණ්ඩුව ඉන්නේ වැරදි වැටහීමක ලු




ප‍්‍රජාතන්ත‍්‍රවාදී නව රජයක් ස්ථාපිත කිරීම සඳහා වූ අරගලය රාජ්‍ය ත‍්‍රස්තවාදයෙන් කිසිසේත් නතර කළ නොහැකි බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම පෙරමුණ පෙන්වා දෙන්නේ ආණ්ඩු විරෝධි අරගල රාජ්‍ය ත‍්‍රස්තවාදයෙන් මර්දනය කළ හැකි බවට ආණ්ඩුව විශ්වාස කරන්නේ නම් එය වැරදි වැටහීමක් වනු ඇති බවයි.

හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයින් පිරිසක් පාර්ලිමේන්තු වටරවුම අසළ දී ඊයේ (03) පැවැත් වූ විරෝධතාවට එල්ල වූ පොලිස් ප‍්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අදාළ නිවේදනය නිකුත් කර තිබෙනවා.

නිසි කලට මැතිවරණ පැවැත්වීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටකට අත්‍යවශ්‍ය කරුණක්. එහෙත් මැතිවරණ නොපවත්වන්නේ නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී විරෝධි ඒකාධිපති පාලනයක් රට තුළ නිර්මාණය වනු ඇති.

වර්තමානය වනවිට ශ‍්‍රී ලංකාව තුළ ද පවතින්නේ එවැනි තත්වයක් බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ. එම නිසා ඊට එරෙහිව නැඟී සිටින ආණ්ඩු විරෝධි හඬ රාජ්‍ය ත‍්‍රස්තවාදය ඔස්සේ මර්දනය කිරීමට ආණ්ඩුව උත්සහ දරණ බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.