Thursday, September 19, 2024

General line - 0115112241

කැප්පෙටිපොළ ඇතුළු විරුවන් 19 දෙනා සතියක් ඇතුළත රාජද්‍රෝහී ලැයිස්තුවෙන් ඉවතට




1818 උඩරට කැරැල්ල මෙහෙයවූ කැප්පෙටිපොළ අධිකාරම් ඇතුළු උඩරට නායකයින් 19 දෙනෙකු රාජද්‍රෝහීන් ලෙස සලකා එවකට ආණ්ඩුකාර රොබට් බ‍්‍රවුන්රික් නිකුත් කළ ගැසට් පත‍්‍රය සතියක් ඇතුළත අවලංගු කිරීමට හැකිවනු ඇතැයි අධීකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.

අදාළ ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි ඉල්ලමින් අමාත්‍යවරයා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. ඒ පිළිබඳ නෙත් නිවුස් කළ විමසීමකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

1818 ජනවාරි 10 වෙනිදා අංක 851 දරන ලංකා ගැසට් පත‍්‍රයේ පළ කරමින් රාජද්‍රෝහීන් ලෙස නම් කළ දේශපේ‍්‍රමී විරුවන් අතර කැප්පෙටිපොළ දිසාවේ, කිවුලෙගෙදර මොහොට්ටාල, ගොඩගෙදර රටේ අධිකාරම්, කැටකාල මොහොට්ටාල, මහාබෙත්මරාළ, කුඩාබෙත්මරාළ, පොල්ගොල්ල මොහොට්ටාල, වත්තෙකැලේ මොහොට්ටාල, පොල්ගහගෙදර රෙහෙනරාළ, පොසේරෙවත්තේ විධානේ, යාලගොම්මේ මොහොට්ටාල යන විරුවන් ඇතුළත්. උඩමාදුරේ මොහොට්ටාල, කොහුකුඹුරේ රටේරාළ, කොහුකුඹුරේ වලව්වේ මොහොට්ටාල, බූටෑවේ රටේරාළ, මහබදුල්ලේ ගම්මානේ රටේරාළ, බුලූපිටිය මොහොට්ටාල, පල්ලේමල්හෙයායේ ගමඇතිරාළ යන විරුවන් ද ඉංග‍්‍රීසි ආණ්ඩුව විසින් රාජද්‍රෝහීන් ලෙස ප‍්‍රකාශ කළා.