Friday, September 20, 2024

General line - 0115112241

විදුලිය කැපුවේ නැත්නම් විදුලි මිල අධික වෙයි




ලබන වසරේ දී අඛණ්ඩ විදුලි සැපයුම අර්බුදකාරී තත්වයකට පත්වීමේ අවදානමක් මතුව තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ පවතින වියළි කාලගුණික තත්ත්වයයි.

නියමිත කාලයේ දී වැසි නොලැබීම මෙම තත්වයට ඍජු ලෙස බලපා තිබෙනවා. වර්තමානයේ පවතින සැබෑ අර්බුදය පිළිබඳ නෙත් නිවුස් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයෙන් විමසීමක් කළා.

එහි සභාපති අතුල වන්නිආරච්චි සඳහන් කළේ  2013 වසරෙන් පසු ශ්‍රී ලංකා විදුලි පද්ධතියට කිසිඳු විශාල විදුලි බලාගාරයක් එක් වී නොමැති බවයි. සාම්පූර් බලාගාරයද ප්‍රමාද වීම හේතුවෙන් මෙම ගැටළුව තවත් උත්සන්න වී ඇති බවත් සඳහන් කළා.  එමෙන්ම භාවිතා කරමින් සිටි පෞද්ගලික ඩීසල් බලාගාර තුනක ගිවිසුම් දිගු කිරීමටද රජයට නොහැකි වූ බවත් සඳහන් කළා. ඊට දේශපාලන සහ වෙනත් ක්‍රියා බල පෑ බවත් මහජන උපයෝගීතා කොමිසමස මීට විරෝධය පෑ බවත් පෙන්වා දුන්නා.

මෙම තත්ත්වය වඩාත් තීව‍්‍ර වන්නේ ලබන වසරේ පෙබරවාරි මාසයෙන් පසුව බවයි මෙහිදි ප‍්‍රකාශ කෙරුණේ. ජල විදුලියට වඩා ඉදිරියේදී ප්‍රමුඛතාවයක් දීමට සිදු වන්නේ පානීය ජල අවශ්‍යතාවලට බවත් සඳහන් කෙරුණා.

එහිදී හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ “අමාරු කාලය එන්නේ පෙබරවාරිවලින් පස්සේ. ජනතාව විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කළොත් ඒකත් අපිට උදව්වක් වෙයි. විදුලි කප්පාදුවක් නොවෙන්න කරන්න පුළුවන් සියලුම දේ කරනවා. ඒවා හැබැයි මිල අධික වෙයි. ඩීසල් බලාගාර නැවත කුලියට ගන්නවාද? එහෙමත් නැතිනම් වෙනත් යන්න පුළුවන් අවස්ථා මොනවාද? කියලා සොයා බලමින් ඉන්නවා.”යනුවෙනි.

මෙලෙස වර්ෂාව අඩුවීමට බලපෑ හේතුව සහ ඉදිරියේදී දිවයිනට බලපැවැත්විය හැකි වර්ෂා සහිත කාලගුණික තත්ත්වය පිළිබඳව ද නෙත් නිවුස් සොයා බැලීමක් කළා.  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා අනූෂා වර්ණසූරිය සඳහන් කළේ 2016 වසරේ මැයි-සැප්තැම්බර් සහ ඔක්තොම්බර්- නොවැම්බර් වර්ෂාව ලැබිය යුතු ප්‍රමාණයට වඩා සැළකිය යුතු මට්ටමකින් අඩුවූ බවයි. ඉදිරි දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා අපේක්ෂා කරන ඊසාන දිග මෝසමේ දී ඉහත කාල දෙකටම වඩා අඩු වර්ෂාවක් ලැබෙනු ඇති බවත් පෙන්වා දුන්නා.

ඊසාන දිග මෝසම් කාලගුණික තත්වයෙන් දිවයිනට ලැබෙන වර්ෂාපතනය අපේක්ෂිත අගයෙන් සියයට විසිපහක් පමණ වනු ඇති බවටයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.