Friday, September 20, 2024

General line - 0115112241

රණවිරුවාගේ ඇසේ බලාපොරොත්තු බොඳ වෙයි




කොළඹ පැවති විරෝධතාවක දී පොලිසිය සිදු කළ බව කියන පහරදීමකින් ඇසකට හානි සිදු වූ ආබාධිත රණවිරුවාගේ ඇස සුවපත් කිරීමට නොහැකි බව වෛද්‍යවරුන් නිර්දේශ කර තිබෙනවා.

ඇසට තුවාල සිදුවීමෙන් පසු කලක් ශ‍්‍රී ලංකාවේ දී ප‍්‍රතිකාර ලැබූ ඔහු යුද හමුදාවේ මැදිහත්වීමෙන් ඉකුත්දා සිංගප්පූරුව බලා රැගෙන ගියේ ඇස සුවපත් කර ගැනීමටයි.

එහෙත් එරට විශේෂඥ වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත්තේ හානි සිදු වූ ඇස යළි ප‍්‍රකෘති තත්වයට පත් කිරීමට නොහැකි බවයි. ඒ අනුව යළි මෙරටට පැමිණි විශ‍්‍රාමික කෝප‍්‍රල් නිශාන්ත මහිරාජ නම් ආබාධිත රණවිරුවා ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත අදහස් පළ කළා.

එහිදී ඔහු සඳහන් කළේ “මගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා ඇස සනීප කර ගන්න හැකි වෙයි කියලා. ඒ බලාපොරොත්තුවත් සමග තමයි සිංගප්පූරුවට ගියේ. එහි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරාට පස්සෙ.. පරීක්ෂා කරලා කිව්වා.. ලෝකයේ කිසිම රටකදී මේ ඇසේ පෙනීම ලබා දෙන්න බැහැ කියලා. එහෙත් බොරු ඇසක් දාලා.. ප්ලාස්ටික් සැත්කමක් මගින් මුහුණේ පෙනුම ලබා දිය හැකි බව කිව්වා. පස්සේ යුධ හමුදාපතිතුමා මැදිහත්වී ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න පොරොන්දු වුණා.” යනුවෙනි.

සේවා කාලය වසර 12 ක් සම්පූර්ණ නොකළ ආබාධිත රණවිරුවන්ට විශ‍්‍රාම වැටුප් ඉල්ලා ඉකුත් දා පැවති මෙම විරෝධතාව විසුරුවා හැරීමට පොලිසිය ජල හා කඳුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කළා. එහිදීයි ඔහුට මෙම තුවාල සිදු වී ඇත්තේ. මෙම ආබාධිත රණවිරුවා විරෝධතාවට එක්වන අවස්ථාවේ ඔහුගේ අනෙක් ඇසෙහි පෙනීමේ දුර්වලතාවකින් ද පසුවුණා.

විරෝධතාවයෙන් පසුව හානි සිදු වූ ඇස සුවපත් කර ගැනීම සඳහා ඔහු වෙනුවෙන් නෙත් නිවුස් කළ මාධ්‍ය අනාවරණය සම්බන්ධයෙන් විශ‍්‍රාමික කෝප‍්‍රල් නිශාන්ත මහිරාජ මෙම අවස්ථාවේදීද සිය ස්තූතිය පල කළා.

එහිදී ඔහු සඳහන් කළේ “මගේ ඇස ඔවුන් ඔවුන්ගේ ඇසක් කර ගත්තා. යුද්ධය අමතක වෙච්ච සමාජයක් ඉන්න රටක රණවිරුවා තනි කොකර විශාල මෙහෙවරක කළා නෙත් එෆ්.එම් රේඩියෝව.” යනුවෙනි.