Sunday, December 22, 2024

General line - 0115112241

හෙළිපෙහෙළි කරන්නේ විල්පත්තුවේ අලිමංකඩක්..! ජනපතිගේ තීරණය ඉටු කරනවානම් හොඳයි




විල්පත්තු ජාතික වනෝද්‍යානය ආසන්නයේ විලත්තෙයිකුලම් රක්ෂිතයේ හෙළිපෙහෙළි කර ඇති අක්කර 600ක පමණ භූමි ප‍්‍රදේශය අලි ඇතුන් ගමන් ගන්නා අලි මංකඩක් බව පරිසරවේදීන් පවසනවා. විලත්තෙයිකුලම් රක්ෂිතය පිහිටා ඇත්තේ මන්නාරම දිස්ත‍්‍රික්කයේ මුසලි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින්. එම වන පෙදෙස හරහා විල්පත්තුව මඩු රක්ෂිතය ඇතුළු අවට වනාන්තර වෙත අලි ඇතුන් ගමන් ගන්නේ විනාශ කෙරෙමින් පවතින භූමි ප‍්‍රදේශය හරහා බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ.

මෙම අලිමංකඩ ආශ‍්‍රිත වනය හෙළිපෙහෙළි කිරීමෙන් ඉදිරියේදී ගැටලූ ගණනාවක් මතු විය හැකි බවයි පරිසරවේදී සජීව චාමිකර පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ දිනයේදී අදාළ බලධාරීන්ට නියෝග කළේ විල්පත්තු ජාතික වනෝද්‍යානයට අයත් වන ප‍්‍රදේශය තවදුරටත් පුළුල් කරමින් වනජීවී කලාපයක් ගැසට් මගින් ප‍්‍රකාශයට පත්කරන ලෙසයි.
එම තීරණය ක‍්‍රියාත්මක වන්නේ නම් විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ආරක්ෂාවට ඉතා වැදගත් පියවරක් වනු ඇති බවද පරිසරවේදී සජීව චාමිකර වැඩිදුරටත් පෙන්වා දුන්නා.

මෙම භූමි ප‍්‍රදේශයේ සිදුකෙරෙන වන විනාශය පිළිබඳ පළමු වරට කරුණු අනාවරණ කෙරුණේ නෙත් එෆ්.එම්. බැලූම්ගල වැඩසටහන ඔස්සේයි. ඉකුත් 27 වෙනිදා සිදුකෙරුණු මෙම අනාවරණයත් සමග සමාජ මාධ්‍ය ඔස්සේ ද බොහෝ දෙනෙකු මේ පිළිබඳ කතාබහට ලක්කළා.