Sunday, December 22, 2024

General line - 0115112241

නිවසකට පැන කාන්තාවකට පහරදුන් බව කියන පොලිස් නිලධාරියා ඒ ගැන කියන කතාව




හෝමාගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව පසුගියදා වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා.

ඒ නාවල ප්‍රදේශයේ නිවසකට පැන කාන්තාවකට හිරිහැර කිරීමේ සිද්දියකට අදාළවයි.ඔහුව අත්අඩංගුවට ගැනුනේ119 දුරකථන අංකයට ලැබුණු පැමිණිල්ලකට අනුවයි.

මෙම නිලධාරිවරයා මීට පෙර වැලිකඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති වශයෙන් සේවය කරනු ලැබුවා.

මේ අතර මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් එම පොලිස් නිලධාරියා සඳහන් කර ඇත්තේ නාවල ප්‍රදේශයේ 6 වන පටුමගේ පදිංචි කාන්තාවක් සමග සම්බන්ධයක් පැවැත්වූ බවයි.

එම කාන්තාව දැනට වසර 3කට පෙර ගෙදර වුණු සොරකමක් සම්බන්ධයෙන් දැනගැනීමට වැලිකඩ පොලිස් ස්ථානය වෙත පැමිණ තිබෙනවා. පසුව ඇය නිතර නිතර පොලිස් ස්ථානය වෙත පැමිණිමට නොහැකි බව පවසා තමන්ගේ දුරකථන අංකය ලබාගෙන ඇති බවයි එම කටඋත්තරයේ සඳහන් වන්නේ.

ඒ අතර තුර ඔවුන් අතර වසර 3ක පමණ සම්බන්ධයක් පැවැත්වුණු බවයි පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.

කෙසේ වෙතත් දැනට මාස දෙකකට පමණ පෙර ඔහුට හෝමාගම පොලිසියේ අපරාධ අංශයට මාරුකර යවා තිබෙනවා. ඒ කාලය අතර තුරද මෙම සම්බන්ධය පැවැත්වුණු බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

මෙම පොලිස් ස්ථානාධිපතිවරයා අවිවාහක පුද්ගලයෙක් වන අතර එම කාන්තාව දික්කසාද කාන්තාවක් බවද සඳහන් වනවා.

මේ කාලය තුළ ඔවුන් අතර නිතර නිතර රණ්ඩු සිදුවුණු බවත් ටික කාලයක් එම සම්බන්ධය නතර වී පසුව නැවත ඇය හා සම්බන්ධයක් පැවැත්වූ බවත් එම ප්‍රකාශයේ සඳහන් වනවා.

පසුව මෙම කාන්තාවගේ වෙනසක් දැනුනු බවත් පසුව කළ සොයාබැලීමකදී ඇයගේ වෙනත් සම්බන්ධයන් පිළිබඳව සොයාගැනීමට හැකිවී තිබෙන බවත් ඔහු පවසා තිබෙනවා.

කෙසේ වෙතත් තමන් ඇයට දුන් දුරකථනයක් ලබාගැනීමට ඇයගේ නිවසට ගිය අවස්ථාවේ ගැටුමක් ඇති වී අදාළ සිදුවීම සිදුවුණු බවයි එම ප්‍රකාශයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.