Wednesday, January 15, 2025

General line - 0115112241

රතන හිමිගේ තීන්දුව ගැන හෙළ උරුමය නිහඬ වෙයි




පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ස්වාධීන මන්ත‍්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් මේ මොහොතේ අදහස් පළ කළ නොහැකි බව ජාතික හෙළ උරුමයේ සම සභාපති නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන පවසනවා.

ඉදිරියේදී පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී ඒ පිළිබඳ සාකච්ඡා කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ජාතික හෙළ උරුමය නියෝජනය කළ ද පසුගිය කාලසීමාවේ ද එම පක්ෂයේ කටයුතුවලට සහභාගි වූයේ නැහැ.

එහෙත් රතන හිමියන් පක්ෂය සමග ගැටලුවක් ඇති කරගෙන නොමැති බවයි ජාතික හෙළ උරුමය මීට පෙර ද ප‍්‍රකාශ කළේ.

තමන් පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කියා සිටියේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීයි. එහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න කිහිපයකට උන්වහන්සේ පිළිතුරු ලබාදුන්නේ මෙලෙසයි.

මේ අතර පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල පවසන්නේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙන් අනෙක් මන්ත‍්‍රීවරුන් ද ආණ්ඩුවේ සැබෑ තත්ත්වය අවබෝධ කරගත යුතු බවයි.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන්. ස්වාධීන මන්ත‍්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට උන්වහන්සේ ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට ගැටලූවක් නොමැති බව අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර නෙත් නිවුස් වෙත කියා සිටියා.