Friday, September 20, 2024

General line - 0115112241

සයිටම් වෙඩිල්ලෙන් පැති කිහිපයක් රත්වෙයි




සයිටම් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරිවරයා ඉලක්ක කර ගනිමින් ඊයේ (06) සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් අද (07) පැවති මාධ්‍ය හමු කිහිපයකදී විවිධ අදහස් පළ වුණා.

මෙම වෙඩි තැබීම සයිටම් විරෝධි සටන අඩපන කිරීම සඳහා කෙරුණු ආණ්ඩුවේ කුමන්ත‍්‍රණයක් විය හැකි බවයි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය පැවසුවේ.

එහි කැදවුම්කරු වෛද්‍ය ජයන්ත බණ්ඩාර සඳහන් කළේ “මෙම වෙඩි තැබීම අපි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා. එවැනි දේවල් අවශ්‍ය නැහැ. මේ සටන දියාරු කිරීමේ කුමන්ත්‍රණයක් හැටියටයි අපි ඒක දකින්නේ. මේක ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් වෙන්නත් පුළුවන්. අපි ජනතාවගෙන් ඉල්ලන්නේ මේවාවලට රැවටෙන්න එපා කියලයි.” යනුවෙනි.

කෙසේවෙතත් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී එහි තරුණ පෙරමුණේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ශාන්ත බණ්ඩාර පැවසුවේ මෙම වෙඩි තැබීම ආණ්ඩුවට එරෙහි කුමන්ත‍්‍රණයක් විය හැකි බවයි.

මේ අතර වෙඩි තැබීමට ඉලක්ක වූ සයිටම් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරි සමීර සේනාරත්න පැවසුවේ මෙම වෙඩි තැබීම ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් විය හැකි බවයි.

සයිටම් ආයතනය විසින් කැදවූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප‍්‍රකාශ කළා.

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ “ආණ්ඩුව අඩපණ කිරීමේ ක්‍රියාවලියට දඩමීමා කරගෙන තියෙන්නෙ සයිටම් ආයතනයයි. වෙඩි තැබීම අපි විසින් කර ගත්තයි කියලා ලැබෙන වාසිය මොකක්ද?. මම දැක්කා ෆේස්බුක් එකෙත් තියෙනවා..මේක නාට්‍යක් කියලා. ඒ අය බලාගෙන ඉන්නෙ අපේ ජීවිත නැති වෙනකම්. එතකොට කියයි. අනිච්චාවත සංඛාරා.. අහෝ ඛේදයකි..වගේ දේවල්.” යනුවෙනි.

මේ අතර සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් රාජ්‍ය විශ්ව විද්‍යාල 08 ක වෛද්‍ය පීඨ සිසුන් මේ වනවිට සිය අධ්‍යයන කටයුතුවලින් බැහැර වී සිටිනවා. ආණ්ඩුවේ ප‍්‍රතිචාරය අනුව ඉදිරියේදී ඊටත් වඩා දැඩි කි‍්‍රයාමාර්ග ගැනීමට වුවද තමන් කටයුතු කරන බවයි වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුව පවසන්නේ.

සයිටම් ආයතනය සම්බන්ධයෙන් පිළිගත් අපක්‍ෂපාති විසඳුමක් ලබා නොදෙන්නේ නම් ඉදිරියේදී දැඩි වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගවලට එළඹෙන බව ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ආචාර්ය සංගමයද පවසනවා.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය හසිනි බන්නැහැක කියාසිටියේ උද්ඝෝෂණවල නිරත වන වෛද්‍ය සිසුන්ට කෙරෙන පහරදීම්ද කිසිසේත් අනුමත කළ නොහැකි බවයි.