නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (10) යෙදී තිබෙනවා.
ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ පොහොය දිනයක් ලෙසටයි නවම් පොහොය සැලකෙන්නේ.
බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා වහන්සේලා වෙනුවෙන් ඕවාද ප‍්‍රාතිමෝක්ෂය දේශනා කළේ අදවන් පොහොය දිනකයි. සැරියුත් මුගලන් දෙනමට අගසව් තනතුර පිරිනැමුවේ ද අදවන් නවම් පොහොය දිනයක බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.
බුදුරජාණන් වහන්සේ භික්ෂු සමූහයා එක්රැස් කොට පළමු වරට සංඝ සම්මේලනයක් පැවැත්වීම ද අදට යෙදෙන පොහොය දිනයේ සිදුවූ තවත් වැදගත් සිද්ධියක්.
බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරියේ ද අදවන් පොහොය දිනකයි.
මේ අතර නවම් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් නෙත් එෆ්.එම්. රේඩියෝව සංවිධාන කරන ශ්වේත පූජා වැඩසටහන පැවැත්වෙන්නේ රාගම බටුවත්ත නාරාම්ගොඩපාලුව රත්න ශ‍්‍රී ඝනාරාම පොත්ගුල් විහාරස්ථානයේදීයි.
ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, යුගාසන කවි බණ ඇතුළු ආගමික වැඩසටහන් රැසක් අද දිනය පුරා පැවැත්වීමට සියලු කටයුතු සංවිධාන කර තිබෙනවා.