Sunday, December 22, 2024

General line - 0115112241

හෙළ විරුවන් සොයා යයි




අධිරාජ්‍යවාදීන් විසින් රාජද්‍රෝහීන් ලෙස නම් කළ අනෙකුත් හෙළ විරුවන් ද ජාතික වීරයින් ලෙස නම් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා.

අධිකරණ අමාත්‍යංශය විසින් පත්කරන ලද මෙම කමිටුවේ සභාපතිත්වය දරන්නේ මාලනී ඇදගමයි. ඉංග‍්‍රීසීන්ට එරෙහි 1818 කන්ද උඩරට නිදහස් සටන හා 1848 ඌව වෙල්ලස්ස නිදහස් සටනට නායකත්වය දුන් හෙළ විරුවන් පිළිබඳවයි මෙහිදී සොයා බැලෙන්නේ.

එවකට පැවති ඉංග‍්‍රීසි ආණ්ඩුව විසින් මෙම හෙළ විරුවන් රාජද්‍රෝහීන් ලෙස නම් කර ගැසට් පත‍්‍රයක් ද නිකුත් කර තිබුණා. එය අවලංගු කර ඔවුන් ජාතික වීරයින් ලෙස නම් කිරීම සඳහා රජයට නිර්දේශ ලබාදීමටයි මෙම පංච පුද්ගල විද්වත් කමිටුව පත්කර ඇත්තේ.

ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ද උපදෙස් පරිදියි. මෙම කමිටුව විසින් අදාළ ගැසට් පත‍්‍රය හා ඊට අදාළ තොරතුරු අධ්‍යයනය කර නිර්දේශයන් ඉදිරි දිනවලදී අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂට ලබාදෙනු ඇති බවයි අමාත්‍යංශය පැවසුවේ.

1818 කන්ද උඩරට ප‍්‍රථම නිදහස් සටනට නායකත්වය දුන් වීර කැප්පෙටිපොළ නිලමේ ඇතුළු ප‍්‍රධාන විරුවන් 19 දෙනෙකු රාජද්‍රෝහීන් ලෙස නම් කළ ගැසට් පත‍්‍රය ඉකුත් දා ජනාධිපතිවරයා විසින් අහෝසි කරනු ලැබුවා.

1818 හා 1848 ජාතික සටන්වලට නායකත්වය දුන් ජාතික වීරයින්ගේ පවුල්වලට සම්බන්ධ හා ඒ පිළිබඳ තොරතුරු ගවේෂණය කළ පුද්ගලයින්ගේ හෝ සංවිධාන ඇත්නම් එම තොරතුරු අදාළ විද්වත් කමිටුවට ඉදිරිපත් කිරීමට ද අවස්ථාවක් ලබා දී තිබෙනවා. එම තොරතුරු පෙබරවාරි 20 වෙනිදාට පෙර අධිකරණ අමාත්‍යංශය වෙත යොමු කරන ලෙසයි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.