Sunday, December 22, 2024

General line - 0115112241

විගණකාධිපතිට තවත් කැපිල්ලක් 




විගණකාධිපති ගාමිණී විජේසිංහ  හට අදාළ තනතුරට නියමිත වැටුප මෙතෙක් නොලැඛෙන බව නෙත් නිවුස් වෙත වාර්තා වනවා. 

ඒ පිළිබඳ කළ සොයා බැලීමක දී අනාවරණ වුණේ ගාමිණී විජේසිංහ හට මේ වනවිට හිමි වන්නේ ඔහු මීට පෙර දැරූ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තනතුරට අදාළ වැටුප බවයි. 

ඔහු ඉන් පසුව මුදල් අමාත්‍යංශයේ ගිණුම්කරණ ප්‍රමිති මණ්ඩලයේ අධ්‍යක‍ෂ ජනරාල්වරයා වශයෙන් ද කටයුතු කළා. 

ගාමිණී විජේසිංහ විගණකාධිපති තනතුරට පත්වන්නේ 2015 නොවැම්බර් මාසයේ සිටයි. 

තම තනතුරට අදාළ වැටුප පිළිබඳ තක්සේරුවක් අනුමැතිය සඳහා ඔහු ලිඛිතව පාර්ලිමේන්තුවට ද යොමුකර තිඛෙනවා. 

පසුව එය පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් යොමු කරනු ලැබ ඇත්තේ ව්‍යවස්ථාදායක සභාව වෙතටයි. 

එහෙත් එහිදී ඊට අනුමැතිය ලැබී නැහැ. 

ව්‍යවස්ථාදායක සභාව ප්‍රකාශ කර ඇත්තේ ඒ සඳහා ජනාධිපතිවරයාගේ හෝ කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් අවශ්‍ය බවයි.
 
මේ අතර විගණකාධිපතිවරයාට සිය ධුරයට අදාළ නියමිත වැටුප ලබාදීමේ ක්‍රමවේදයට ඇතැම් අමාත්‍යංශ ලේකම්වරුන් සහය නොදක්වන බව ද නෙත් නිවුස් වෙත වැඩිදුරටත් වාර්තා වුණා.