Sunday, December 22, 2024

General line - 0115112241

විසිපන් දහසක දඩයේ 'සංශෝධිත දඩ පත්‍රිකාව'  ලබන සතියේ සිට 




රථ වාහන වැරදි හතක් සම්බන්ධයෙන් රුපියල් විසිපන් දහසක දඩයක් නියම කිරීමට අදාළ සංශෝධිත නව දඩ පත්‍රිකාව ඉදිරි සතියේ දී හඳුන්වා දෙන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා. 

 

එහි ලේකම් නිහාල් සෝමවීර සඳහන් කළේ රථ වාහන වැරදි සඳහා වන නව දඩ පත්‍රිකාව මේ වනවිටත් කෙටුම්පත් කර අවසන් බවයි. 

 

මෙම දඩය පැනවීමේ දී මෝටර් රථ ප්‍රවාහන පනතේ සංශෝධනයක් සිදු කළ යුතු බවයි ඔහු කියා සිටියේ. 

 

එම කටයුතු මේ වනවිට සම්පූර්ණයෙන්ම අවසන් බව ද ලේකම්වරයා සඳහන් කළා. 

 

මෙම දඩය සම්බන්ධයෙන් ඉකුත් සමයේ ඇති වූයේ දැඩි කතාබහක්. 

 

ඒ අනුවයි ඒ පිළිබඳ  සොයා බැලීම සඳහා විශේෂ මණ්ඩලයක් පත් කරනු ලැබුවේ. 

 

ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්, මුදල් අමාත්‍යංශයේ ලේකම්, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් හා රථ වාහන අංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ද එහි සාමාජිකයින්. 

 

ඔවුන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් සමයේ අදාළ දඩය පිළිබඳ  සාකච්ඡා වට කිහිපයක් සිදුකර තිඛෙනවා. 

 

ඒ අනුව නව දඩ පත්‍රිකාව එළඹෙන බදාදා බස් සංගම් සහ ත්‍රීරෝද රථ ඇතුළු ප්‍රවාහන ක්ෂේත්‍රයේ සංගම් වෙත ලබාදෙන බවයි ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ. 

 

ප්‍රධාන රථ වාහන වැරදි හතට අමතරව තවත් රථ වාහන වැරදි 33කට අදාළ දඩ සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන පනත සංශෝධනය කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.