Monday, May 6, 2024

General line - 0115112241

මීතොටමුල්ල සිද්ධියෙන් කුඩා දරුවෙකු මියයයි (PHOTOS) - (UPDATE)




මීතොටමුල්ල කසළ කන්දේ කොටසක් කඩා වැටීමෙන්  අද (12) පස්වරුවේ සිදු වූ අනතුරෙන් කුඩා දරුවෙකු මියගිය අතර තුවාල ලැබූ තවත් පිරිසක් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පැවසුවේ කසළ කන්ද කඩා වැටීමෙන් අවට නිවාස බරපතළ හානි සිදු වී ඇති බවයි.

සුන්බුන් අතර සිටින පුද්ගලයින් සොයා සිදුකෙරෙන ආරක්ෂක ගලවා ගැනීමේ මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මකයි. 

සිද්ධියෙන් ප්‍රකෝප වූ ප්‍රදේශවාසීන් කුණුකන්ද මත තිබූ බැකෝ යන්ත්‍රයකටද ගිනි තබා තිබුණා.

කසළ කන්දට යටවී සිටින පිරිස් බේරාගැනීම සඳහා ත්‍රිවිධ හමුදාව,  ගිනිනිවීම් සේවා දෙපාර්තමෙන්තුව, පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා. 

----------------------------------------------------------------------

මීතොටමුල්ල සිද්ධියෙන් කුඩා දරුවෙකු මියයයි - කඩා වැටුණු කසල කන්දට යටවී සිටි තුන් දෙනෙකු බේරා ගැනේ - (UPDATE) 14-04-2017 (08:04)

කොළොන්නාව මීතොටමුල්ල කසල කන්දේ කඩා වැටුණු කොටසේ යටවී සිටි පුද්ගලයින් තුන් දෙනෙකු හමුදා භට පිරිස් විසින් බේරාගෙන තිබෙනවා. 

ප‍්‍රදේශවාසීන් ලබාදෙන තොරතුරු අනුව අනතුරට ලක්වූවන් බේරා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදුකරන බවයි හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රොෂාන් සෙනෙවිරත්න පැවසුවේ. 

බේරා ගැනිමේ මෙහෙයුම් සහ සහන සේවා සදහා හමුදා භට පිරිස් 300ත් 400 ත් අතර පිරිසක් යොදවා සිටින බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

අනතුරට ලක්වූවන් පිළිබද තොරතුරු රැස් කිරීම සදහා මීතොටමුල්ල මිහිදු විද්‍යාලයේ තොරතුරු මධ්‍යස්ථානයක්ද පිහිටුවා ඇති බවයි හමුදා ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් කියාසිටියේ. 

එම මධ්‍යස්ථානය වෙත ගොස් අනතුරට ලක්වූ තම ඥාතීන් හෝ අසල්වාසීන් පිළිබද තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලීමක්ද කෙරුණා.

මීතොටමුල්ල කසල කන්දේ කඩා වැටුණු කොටස මීටර් 800 ක් පමණ වන බවයි ඇස්තමේන්තු කර තිබෙන්නේ. 

නිවාස 30 ත් 40 ත් අතර සංඛ්‍යාවකට හානි සිදුව තිබෙනවා. 

මේ අතර ආරක්‍ෂාව තහවුරු කිරීම සදහා මීතොටමුල්ල අවට ප‍්‍රදේශයේ විදුලිය විසන්ධි කර තිබෙන බවයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ. 

----------------------------------------------------------------------

යට වූ පුද්ගලයින් සොයා ත්‍රිවිධ හමුදාව මෙහෙයුම් අරඹයි UPDATE 14-04-2017 (07:04)

කොළොන්නාව, මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් විපතට පත්වූවන් බේරා ගැනීමට සහ සහන සේවා සදහා කඩිනමින් කි‍්‍රයා කරන්නැයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ති‍්‍රවිධ හමුදාවටට, පොලීසියට සහ ආපදා කළමණාකරණ අමාත්‍යාංශයට උපදෙස් දී තිබෙනවා. 

ඒ අනුව අදාළ සියලූ පාර්ශව මේ වනවිටත් බේරා ගැනීමේ මෙහෙයුම් සහ සහන සේවා ආරම්භ කර ඇති බවයි ආපදා කළමණාකරණ අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා පැවසුවේ.

ගිනි ගැනීම් ඇතිවුවහොත් ඒවා පාලනය කිරීම සදහා ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 වර්ගයේ යානයක්ද මීතොටමුල්ල කසල කන්ද ප‍්‍රදේශයට යවා තිබෙනවා. 

ආපදාව නැරඹීම සදහා එම ප‍්‍රදේශයට පැමිණීමෙන් වළකින ලෙසයි අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා සෙසු මහජනතාවගෙන් ඉල්ලා සිටියේ. 

එලෙස අනවශ්‍ය පිරිස් පැමිණීම බේරා ගැනීමේ මෙහෙයුම් සහ සහන සේවාවලටද බාධාවක් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
 
මීතොටමුල්ල කසල කන්දේ කොටසක් කඩා වැටුණේ අද පස්වරු 3 ට පමණයි. 

තුවාල ලැබූවන් හත් දෙනෙකු ප‍්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු බවයි පොලීසිය පැවසුවේ. 

------------------------------------------------------------------------

බෙල් - 212 හෙලිකොප්ටර් යානයක් මීතොටමුල්ල මෙහෙයුමට එක් වෙයි UPDATE 14-04-2017 (06:00)

මීතොටමුල්ල කසල කන්දේ කොටසක් කඩා වැටීමෙන් විපතට පත්වූ ජනතාවට සහන සැලසීමට ගුවන් හමුදාවේ බෙල් - 212 හෙලිකොප්ටර් යානයක් ද එක්ව තිබෙනවා. 

------------------------------------------------------------------------

මීතොටමුල්ල කසල කන්ද කඩාවැටීම නිසා නිවාස 100 ක් යටවෙයි UPDATE 14-04-2017 (05:45)

 කොලොන්නාව මීතොටමුල්ල කසල කන්දේ කොටසක් කඩාවැටීම නිසා නිවාස 100 කට ආසන්න සංඛ්‍යාවක් යටවී ඇති බව පොලිසිය පවසනවා.

ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ නිවාස පෙලක් මෙලෙස කුණු කන්දට යට වී ඇති බවයි. 

ඒ අනුව කුණු කන්දට යට වී සිටින පුද්ගලයින් බේරා ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ වී ඇති බවයි වැල්ලම්පිටිය පොලිසිය ප්‍රකාශ කළේ.
 

----------------------------------------------------------------------------

මීතොටමුල්ල කසල කන්ද කඩාවැටී නිවාස කිහිපයක් යටවෙයි UPDATE 14-04-2017 (05:00)

කසල කන්දට යට වී සිටින පුද්ගලයින් බේරා ගැනීම සඳහා පොලිසිය මෙන්ම ත්‍රිවිධ හමුදාවද මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. 

මේ අතර, කුණු කන්දට යට වීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. 

-------------------------------------------------------------------------------

UPDATE 14-04-2017 (04:40) 

කොලොන්නාව මීතොටමුල්ල කසල කන්දේ කොටසක් කඩාවැටී ඇති බව වාර්තා වනවා.

ඒ හේතුවෙන් අසල පිහිටි නිවාස කිහිපයක් යටවී ඇති බවයි පොලිසිය පවසන්නේ.

වහා මැදිහත්වී පීඩාවට පත්වූවන්ට සහන සලසන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ආපදා කළමනාකරණ අමාත්‍යංශයට හා පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබේ.