Thursday, December 26, 2024

General line - 0115112241

කුණු කන්ද කඩා වැටීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 19 ක් දක්වා ඉහළට (UPDATE)




මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් මිය ගිය සංඛ්‍යාව 19 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තුවාල ලැබූ 13 දෙනෙකු කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.

ඔවුන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

අනතුරෙන් පුද්ගලයින් 625 දෙනෙකු අවතැන්ව සිටිනවා. ඔවුන් කොලොන්නාව ටෙරන්ස් එන් ද සිල්වා විද්‍යාලයේ රඳවා සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප‍්‍රකාශ කළේ.

--------------------------------

කුණු කන්ද බලන්න ඇවිත් සහන කටයුතුවලට බාධා කරන්න එපා - පොලිසිය යළිත් ඉල්ලයි

(15-04-2017 18:56)

 

ආපදාවන්ට ලක්වූ ප‍්‍රදේශය නැරඹීමට පැමිණීමෙන් එම මාර්ග අනවශ්‍ය ලෙස තදබදයකට ලක්වන බව පොලිසිය ජනතාවට දැනුම් දෙනවා.

එවැනි තත්ත්වයක් යටතේ සහන කණ්ඩායම්වලට බාධා සිදුවෙන බවයි පොලිසිය සඳහන් කරන්නේ.

ඉල්ලීම් නොතකා හරිමින් ජනතාව පැමිණීමෙන් ප‍්‍රදේශයේ පිවිසුම් මාර්ග අවහිර වුවහොත් විපතට පත්වූවන්ට වෛද්‍ය ආධාර සැපයීමටත් බාධා සිදුවිය හැකි බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි සඳහන් කළේ. 

මේ අතර කුණු කන්ද කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත්වූ පිරිස මේ වන විට 17 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
 

-------------------------------------

තවත් දරුවෙකු ජීවිතක්ෂයට - කසල කන්දේ කඩා වැටීමෙන් මරණ 16 ක් දක්වා ඉහළට

(15-04-2017 13:59)

මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීම හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව මේ වන විට 16 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සිදු වූ මරණ අතර තවත් ළමා මරණයක් වාර්තා වන බවයි යුද හමුදාව පෙන්වා දෙන්නේ.

ඒ අනුව මේ වන විට ළමුන් 05 දෙනෙකු මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

කසල කන්දට යටවූවන් සෙවීම සඳහා ත‍්‍රිවිධ හමුදාව සහ පොලිසිය තවදුරටත් මෙහෙයුම් සිදු කරනවා. 

---------------------------------

නිවාස 145 ක් මීතොටමුල්ල කුණු කන්ද බිලි අරං - මරණ සංඛ්‍යාව තවත් ඉහළට

(15-04-2017 11:31)

 

මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීම හේතුවෙන් මේ වන විට නිවාස 145 ක් පමණ හානියට පත්ව ඇති බව නවතම තොරතුරු හෙළි කරනවා.

අනතුරෙන් පවුල් 180 ක පුද්ගලයින් 625 ක් අවතැන් වී ඇති බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කරන්නේ.

කසල කන්ද කඩා වැටීමෙන් සිරවී සිටින පිරිස් මුදා ගැනීම සඳහා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක අතර කණ්ඩායම් 04 ක් ස්ථාන කිහිපයකින් කැණීම් සිදු කරනවා.

ඒ අනුව පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව මෙම කණ්ඩායම් 04 ට ඇතුළත්.

නාගහමුල්ල, නීල්ගේවත්ත, දහම් මාවත සහ 23 වත්ත යන ප්‍රදේශ එම ස්ථානයි.

මේ අතර කසල කන්ද කඩා වැටීමෙන් මියගිය පුද්ගලයින් ගණන 11 ක් දකවා වැඩි වී තිබෙනවා. ගැහැණු ළමයින් දෙදෙනෙකු, පිරිමි ළමයින් දෙදෙනෙකු, වැඩිහිටි කාන්තාවන් හතරදෙනෙකු සහ වැඩිහිටි පිරිමි පුද්ගලයින් තුන් දෙනෙකු එලෙස මියගොස් තිබෙන බවයි කොළඹ ජාතික රෝහල කියාසිටියේ.

තුවාල ලැබූවන් අට දෙනෙකු තවදුරටත් නේවාසිකව ප‍්‍රතිකාර ලබන බවද එහි ප‍්‍රකාශිකාවක් පැවසුවා.


 

---------------------------

මීතොටමුල්ල කුණු කන්දට යට වී මිය ගිය පිරිස තවත් වැඩි වෙයි - බේරා ගැනීමේ මෙහෙයුම් තවදුරටත්

(15-04-2017 06:41)

කොළොන්නාව, මීතොටමුල්ල කසල කන්දේ කොටසක් කඩා වැටීමෙන් ඊයේ (14) පස්වරුවේ සිදුවු අනතුරෙන් මේ වනවිට පුද්ගලයින් දස දෙනෙකු මියගොස් තිබෙනවා.

කොළඹ ජාතික රෝහලේ ප‍්‍රකාශිකාවක් කියා සිටියේ කාන්තාවන් හය දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 4 දෙනෙකු මෙලෙස මියගොස් ඇති බවයි.

ඒ අතර ළමයින්ද සිටින බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා. තුවාල ලැබූ තවත් 11 දෙනෙකු කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබන බවයි පොලීසිය පවසන්නේ. 

ඊයේ පස්වරු 3.00 ට පමණ මෙම ඛේදවාචකය සිදුවුණා. කසල කන්දේ මීටර් 800 ක පමණ කොටසක් කඩා වැටුණු බවයි යුද හමුදාව පැවසුවේ.

බේරා ගැනීමේ මෙහෙයුම් සහ සහන සේවා තවදුරටත් කි‍්‍රයාත්මක වනවා. 

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ ආපදාවන්ට ලක්වූ පිරිස පිළිබඳව දත්ත සම්පූර්ණයෙන්ම අද (15) දිනයේදී යාවත්කාලීන විය යුතුව ඇති බවයි.

හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රොෂාන් සෙනෙවිරත්න පැවසුවේ බේරා ගැනිමේ මෙහෙයුම් සහ සහන සේවා සඳහා හමුදා භට පිරිස් 300ත් 400 ත් අතර පිරිසක් යොදවා සිටින බවයි. අනතුරට ලක්වූවන් පිළිබඳ තොරතුරු රැස් කිරීම සඳහා මීතොටමුල්ල මිහිදු විද්‍යාලයේ තොරතුරු මධ්‍යස්ථානයක්ද පිහිටුවා තිබෙනවා.

එම මධ්‍යස්ථානය වෙත ගොස් අනතුරට ලක්වූ තම ඥාතීන් හෝ අසල්වාසීන් පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙසයි හමුදා ප‍්‍රකාශකවරයා ඉල්ලා සිටියේ.

මේ අතර බේරා ගැනීමේ මෙහෙයුම් සහ සහන සේවා සඳහා අදාළ අංශවලට සහාය  ලබාදෙන්නැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධන සියලු දෙනාගෙන් ඉල්ලීමක් කළා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්.එම්. මරික්කාර්ගෙන්ද නෙත් නිවුස් මේ පිළිබඳ විමසිමක් කළා. ඔහු පැවසුවේ මෙම ආපදාව ස්වභාවික එකක් නොව අකාර්යක්‍ෂම කළමණාකරණය නිසා සිදුවූවක් බවයි. අඩි 180 ක් පමණ මෙම කුණු කන්ද උස්ව පැවැති බවත් එහිදීද ජනතා විරෝධය මැද මෙම කුණු කන්දට කුණු ගෙනවිත් දමන්නට බලධාරීන් කටයුතු කළ බවත් ඔහු සඳහන් කළා.

කොළොන්නාව, මීතොටමුල්ල කසල කන්ද ඉවත් කිරීම සදහා බලධාරීන් දැන්වත් සංවේදී විය යුතු බවද පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්.එම්. මරික්කාර් මෙහිදී කියාසිටියා.