Sunday, September 22, 2024

General line - 0115112241

ලංකාවට පළා ආ මියන්මාර මුස්ලිම් ජාතිකයින් ආපසු යන්න බැහැ කියයි




යාපනය කන්කසන්තුරය මුහුදු සිමාවේදි අත්අඩංගුවට ගත් මියන්මාර මුස්ලිම් ජාතිකයන් මිරිහාන රැඳවුම් මධ්‍යස්ථානය වෙත යොමු කර  තිබෙනවා.

ඒ, යාපනය මහේස්ත‍්‍රාත්වරයාගේ නියෝගයකට අනුවයි.

ඒ අතර, මියන්මාර ජාතිකයන් තිස් දෙනෙකු හා ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකුද සිටිනවා.

නීතිපති උපදෙස් ලැබෙන තුරු මොවුන් පිරිස ලබන 16 වැනිදා දක්වා රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තබන ලෙසයි මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේ.

මෙම පිරිස අතර කුඩා දරුවන් පහළොස් දෙනෙකු සහ ගැබිණි කාන්තාවක්ද වනවා. 

මෙම පිරිස පොලිසියට පවසා ඇත්තේ වසර 04 ක කාලයක් ඉන්දියාවේ රැඳී සිටියත් තමන් ඇතුලු පිරිසට කිසිඳු සහනයක් නොලැබුණ බවයි. ඒ හේතුවෙන් යාත්‍රාවක නැගී පළා ආ බවත් පවසා තිබෙනවා. යළිත් මියන්මාරය වෙත යෑමට අකමැති බවද සඳහන් කර තිබෙනවා.

තමන් ඇතුළු පිරිස ආපසු මියන්මාරයට යවනු ලැබුවොත් ජීවිතය අනතුරේ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

උතුරු මුහුදු සීමාවේ මුර සංචාරයේ යෙදුණු ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක යාත්‍රාවක් මගින්, ඉන්දීය ධීවර යාත්‍රාවකින් ගමන් කරමින් සිටි මියන්මාර් ජාතිකයන් තිස් දෙනෙකු ගෙන් සමන්විත පිරිස අත්අඩංගුවට ගත්තේ ඉකුත් 30 වැනිදා පෙරවරුවේ යි.

අන්තර් ජාතික මුහුදු සීමාව පසු කරමින් ශ්‍රී ලංකා මුහුදු තීරයට පැමිණෙමින් තිබූ සැක කටයුතු යාත්‍රාවක් නිරික්ෂණය කරමින් සිටි ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායට අයත් මුර යාත්‍රාවක් මගින් වැඩි දුර පරීක්ෂණ සඳහා මෙම යාත්‍රාව සෝදිසි කිරීමේදී කාන්තාවන් ද ඇතුළු පුද්ගලයින් විශාල පිරිසක් එහි සිටි බවට නිරික්ෂණය කර තිබුණා. එබැවින් මෙම යාත්‍රාව අනවසර සංක්‍රමණිකයන් ප්‍රවාහනය කිරීමට දරණ ලද උත්සාහයක් වශයෙන් සැක කර සිය භාරයට ගැනීමට කටයුතු කළා.

2013 පෙබරවාරි සිට මේ දක්වා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බළකාය එක්ව ශ්‍රී ලංකා මුහුදු සිමාවේදී අනවසර සංක්‍රමණිකයන් 268 දෙනෙකු බේරාගෙන ඇති අතර, ඉන් 45 % පමණ මියන්මාර් ජාතිකයන් වනවා.

2013 වසරේදී ඔළුවිල් වාරායට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී ‍යාත්‍රාවක් (බාහී බාහී- එස්) මගින් රැගෙන යමින් සිටි මියන්මාර් ජාතිකයන් 88 දෙනෙකු බේරා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් වුණා.