Sunday, September 22, 2024

General line - 0115112241

වර්ජනයෙන් ජනතාවට දුෂ්කරතා




සෞඛ්‍ය, දුම්රිය හා අධ්‍යාපන යන කේෂ්ත‍්‍රයන්ට අයත් වෘත්තීය සමිති තිහකට අධික සංඛ්‍යාවක් කැඳවා ඇති වැඩවර්ජනය හේතුවෙන් අද (05) දිනයේ සේවා කටයුතු රැසක් බිද වැටුණා. වෛද්‍යවරුන් වැඩවර්ජනයට එක්වීම හේතුවෙන් දිවයිනේ රෝහල් බොහෝමයක සේවා අඩපනව තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප‍්‍රකාශ කළේ අද උදෑසන අටේ සිට ක‍්‍රියාත්මක වැඩවර්ජනය ඉතා සාර්ථක බවයි. කෙසේ වෙතත් අද දිනයේ දියත් කළ වැඩ වර්ජනයෙන් දිවයින පුරා සියලූම රෝහල්වල භාහිර රෝගී අංශයට සුළු බලපෑමක් එල්ල වුව ද අනෙකුත් රෝගී සත්කාරක සේවාවන් නිසි පරිදි සිදු වූ බව සෞඛ්‍ය අමාත්‍යංශය ප‍්‍රකාශ කළා. 

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට ලබන 22 වනදා අභියාචනාධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරමින් අද නොතිසි නිකුත් කෙරුණා. ඒ, ඉකුත්දා කළ වැඩවර්ජනයකදී කරන ලද ප‍්‍රකාශයකින් අධිකරණයට අපහාස කර ඇතැයි පවසමින් ගොණු කර ඇති නඩුවක් සැලකිල්ලට ගනිමින්. 

අද පැවති වැඩවර්ජනයට ගුරු සංගම් ද සහය පල කළා. මේ අතර මෙම වැඩවර්ජනයට දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් සහය පල කිරීම හේතුවෙන් අද පස්වරුවේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් රැසක් අවලංගු වුණා. 

මේ අතර කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සේවකයින් මගීන් ස`දහා ප‍්‍රවේශ පත‍්‍ර අලෙවි කිරීමෙන් ද අද වැළකී සිටියා. මේ හේතුවෙන් මගීන් බොහෝ පිරිසක් දැඩි අසීරුතාවට පත් වූ බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් ප‍්‍රකාශ කළේ. 
නෙත් නිවුස් කළ විමසීමකදී දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති රුවන් පතිරණ ප‍්‍රකාශ කළේ අද පස්වරුවේ ධාවනය වූයේ දුම්රිය ගමන්වාර 20ක් පමණක් බවයි. කෙසේ වෙතත් කිසිදු රාත‍්‍රී තැපැල් දුම්රියක් ධාවනය නොවන බවයි ඔහු ස`දහන් කළේ.