Sunday, September 22, 2024

General line - 0115112241

ගම්පොළ දී පැහැරගත් දරුවා සැඟවූ නිවසේ සිටි අම්මයි දුවයි (UPDATE)




ගම්පොළ දී පැහැරගනු ලැබ මඩකලපුව කරදියනාරු ප‍්‍රදේශයේ නිවසක සඟවා  සිටිය දී අද සොයා ගැණුනු දරුවා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කර තිබෙනවා. 

දරුවා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි වෛද්‍යවරුන් එහිදී තහවුරු කර ඇත්තේ. මෙම පැහැර ගැනීමට අදාළව පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටිනවා. 

වයස අවුරුදු දෙකයි මාස අටක් වන පැහැරගැනුණු දරුවා, රිනාස් මොහොමඞ් සල්මාන් නමැත්තෙක්. 

සිය නිවසට යාබද පියාට අයත් වෙළඳසැලකට සිය ඥාතියෙකු සමග යමින් සිටිය දී ඉකුත් 03වනදා ඔහු අතුරුදන් වුණා. 

ඥාතියාගේ වයස අවුරුදු 26ක්. මහනුවර ප‍්‍රදේශයේ සිටිය දී ඊයේ එම ඥාතියා සොයාගත් අතර පොලිසිය පැවසුවේ විමර්ශන සඳහා ඔහු අත්අඩංගුවට ගත් බවයි. 

පැහැර ගැනීම සිදුව ඇත්තේ කප්පම් ගැනීමට බවද පොලිසිය අනාවරණ කරගත්තා. 

දරුවා මුදා හැරීම සඳහා මුලින් ඉල්ලා ඇති කප්පම් මුදල රුපියල් මිලියන 03ක්. පසුව එය රුපියල් මිලියනයක් දක්වා අඩුකර තිබෙනවා. 

එම කප්පම ලබාදී දරුවා මුදා ගන්නා මුවාවෙනුයි පොලිසිය මෙහෙයුම සිදුකර ඇත්තේ. 

අත්අඩංගුවට ගැණුනු කාන්තාවන් දෙදෙනා දරුවා සඟවා සිටි නිවසේ ඒ වනවිට රැඳී  සිටි අයයි. 

ඔවුන් දෙදෙනා එකම පවුලේ මව සහ දියණිය බවයි පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා. 
 

 

.............................................................................

ගම්පොළදී පැහැරගත් දරුවා මඩකළපුවෙන් සොයාගනී

ගම්පොළදී තරුණයකුද සමග පැහැරගත් වයස අවුරුදු 02ක දරුවා මඩකලපුව කරදියනාරුහිදී සොයාගෙන තිබෙනවා. දරුවා මුදා ගැනීමට පොලිසිය මෙහෙයුම් කිහිපයක් අරඹා තිබුණා.

පැහැරගැනීමට ලක්වූ තරුණයා අද දහවල් මුදා හැර තිබෙනවා.