Sunday, September 22, 2024

General line - 0115112241

මට වඩා ආරක්ෂාවක් මහින්දට මොකටද ? - චන්ද්‍රිකා බණ්ඩාරනායක




රටේ ආරක්ෂාව යහපත් මට්ටමක තිබියදී මහින්ද රාජපක්ෂ මහතාට තමන්ට වඩා ආරක්ෂාවක් අවශ්‍ය වන්නේ මන්දැයි හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප‍්‍රශ්න කරනවා. 

නිවේදනයක් නිකුත් කරමින් ඇය පෙන්වා දී ඇත්තේ ඉකුත් 2007 වසරේදී රාජපක්ෂ ආණ්ඩුව තම ආරක්ෂාව මුළුමනින්ම ඉවත් කිරීමට කටයුතු කළ බවයි. 

එම කාලයේ දී එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් තමන්ට තර්ජන පවා එල්ල වෙමින් තිබූ බවයි හිටපු ජනාධිපතිවරිය පෙන්වා දෙන්නේ. 

2005 වසරේ නොවැම්බර් මාසයේ ජනාධිපති ධුරයෙන් විශ‍්‍රාම ගන්නා අවස්ථාවේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආරක්ෂාව වෙනුවෙන් නිලධාරීන් 300ක් වෙන් කර තිබුණා. 

ඔවුන්ට අවශ්‍ය ආයුධ සහ ආරක්ෂක රථ සපයන ලෙස ආරක්ෂක මණ්ඩලය ද නිර්දේශකර තිබූ බව අදාළ නිවේදනයේ දැක්වෙනවා. 

එහෙත් තමන්ට ලබා දී තිබූ ආරක්ෂක නිලධාරීන් ප‍්‍රමාණය 150 දක්වා අඩු කිරීමට එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළ බවයි හිටපු ජනාධිපතිවරිය සිය නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ. 

පසුව 2007 වසරේ සැප්තැම්බර් මාසයේ දී තමන්ට ලබා දී තිබූ ආරක්ෂාව සම්පූර්ණයෙන් ඉවත් කිරීමට පැවති ආණ්ඩුව කටයුතු කළ බව ඇය සිය නිවේදනය මගින් පෙන්වා දෙනවා.